මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හිටපු මුදල් හා සැලසුම් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු ලෙස සිටිමින් ඕස්ට්‍රේලියා පුරවැසිභාවය අත්හරිමින් ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත් අයකු බව අනාවරණය වේ.
ඒ බව අනාවරණය වන්නේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා වාචික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්නයක් වශයෙන් 2026 ජුලි 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ ප්‍රශ්නයකට මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ලබාදුන් පිළිතුරු අනුවය.
සිය ප්‍රශ්නය මගින් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වන්නේද, ඔහු පුරවැසිකම ලබ ඇත්තේ උපතින්ද නැතහොත් ලියාපදිංචිය මඟින්ද, ඕස්ට්‍රේලියානු පුරවැසියකුව සිටියේද, ද්විත්ව පුරවැසියකුව සිටියේද, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමෙන් පසු නාවත ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා තිබේද, එසේ නම් එම දිනය කවරේද යන්න පිළිබඳ විමසා තිබුණි.
ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ශ්‍රී ලංකා පුරවැසියෙක් වන බව, ඔහු ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ උපතින් බව, ඔහු ඕස්ටේ්‍රලියානු පුරවැසියකුව සිටි බව, ඔහු ද්විත්ව පුරවැසියකුව සිටි බව, ඔහු ඕස්ටේ්‍රලියානු පුරවැසිභාවය 2024 සැප්තැම්බර් මස අත්හරින ලද බව, ඔහු ඕස්ටේ්‍රලියානු පුරවැසිභාවය අත්හැරීමෙන් පසු ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන ඇති බව හා ඔහුගේ පුරවැසි සහතික අංකය 1000096534 බවය.
මෙහිදී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යළි ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත් දිනය කවදාද යන්න පිළිබඳ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදී නැති අතර ඒ වෙනුවට පුරවැසි අංකයක් පිළිතුර වශයෙන් ලබාදී ඇත.
මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් වන පිළිතුරු ඇතුළත් හැන්සාර්ඩ් වාර්තාව මුද්‍රිතව ලැබීමෙන් පසු අගෝස්තු 19 දින පාර්ලිමේන්තුවේ මූලාසනයට ප්‍රශ්නයක් යොමු කරමින් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා විමසුවේ ඔහු ඇසූ හර්ෂණ සූරියප්පෙරුම මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් දිනය කවදාද යන්න පිළිබඳ ප්‍රශ්නයට අදාළ පිළිතුර හැන්සාර්ඩ් වාර්තාවේ නැති බවත්, එය එය පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් අංශයේ අතපසුවීමක් නිසා සිදුවී ඇති දෙයක්ද, නැතහොත් පිළිතුරු ලබාදී ඇත්තේ ඒ ආකාරයටද යන්න පැහැදිලි කරගත යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ලේකම් කාර්යාලය විමසීමේදී අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයටා දැන ගන්නට ලැබී ඇත්තේ එය හැන්සාර්ඩ් අංශයේ දෝෂයක් නොවන බවත් ජනාධිපතිවරයා ලබාදී ඇති පිළිතුර ලැබී ඇත්තේ ඒ ආකාරයෙන් බවත්ය.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වන විට සිය විදේශ පුරවැසිභාවය ඉවත් කරගෙන නොසිටි බවට චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලීම්ද සිදුකර තිබුණි.
