ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් 22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම හරහා මෙය අතිශය බරපතළ සහ හදිසි ව්‍යවස්ථාපිත ගැටලුවක් බැවින් මෙය විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික නීතිඥ ටී.එම්.එස්. පසිඳු සිල්වා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහකාර ලේකම් නිතිඥ ලකිත ඉසිවර වාකිෂ්ඨආරච්චි විසින් නීතිඥ රම්සි බාචා හරහා මෙම පෙත්සම ගොනු කර තිබේ.
එනම් දැනට සේවය කරන සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මෙම නඩුව ඇසීම සඳහා කැඳවන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
එසේම රජය විසින් ගෙන ඒමට යෝජිත විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති. එබැවින් එය නීතියක් බවට පත් කිරීමට නම් ජනමත විචාරණයකින් මහජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු බවට තීරණය කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත. ඊට විකල්පයක් ලෙස පනතේ 2 වන සහ 3 වන වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවත් තීරණය කරන ලෙස පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
2026 අගෝස්තු 7 වන දින ප්‍රකාශයට පත් කළ මෙම පනත් කෙටුම්පත මගින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ සංයුතිය වෙනස් කිරීමට යෝජනා කර ඇත. පනතේ 2 වන වගන්තිය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත් අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජිතය. එසේම අගවිනිසුරුවරයාගේ ධුර කාලය වයස අවුරුදු 67 සම්පූර්ණ වීම හෝ පත්වී වසර 6ක් සම්පූර්ණ වීම යන දෙකෙන් කලින් එළඹෙන දිනය ලෙස සීමා කර තිබේ. පනතේ 3 වන වගන්තියෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 24 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර ඇත.
පෙත්සම්කරුවන් මෙම පනතට එරෙහිව ප්‍රබල නීතිමය තර්ක ගණනාවක් ගොනු කර තිබේ. පළමු කරුණ වන්නේ මෙවැනි සංවේදී පනතක් කිසිදු මහජන උපදේශනයකින් තොරව ගෙන ඒමයි. නීතිඥ සංගමය හෝ අධිකරණ සේවා සංගමය සමග කිසිදු එකඟතාවයක් මේ සඳහා ලබාගෙන නොමැත. එසේම වත්මන් රජයට මෙවැනි සංශෝධනයක් ගෙන ඒම සඳහා කිසිදු මැතිවරණ ජනවරමක් හිමිවී නොමැති බවද පෙත්සමේ සඳහන් වේ.
මීළඟ ප්‍රබල නීතිමය තර්කය ගොඩනැගෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය පදනම් කරගෙනයි. ජනතා පරමාධිපත්‍යයේ අනිවාර්ය අංගයක් ලෙස අධිකරණයේ ස්වාධීනත්වය සැලකෙන බව පෙත්සම්කරුවන් තර්ක කරති. එමනිසා අධිකරණයේ ස්වාධීනත්වයට බාධා වන ඕනෑම නීතියක් සෘජුවම ජනතා පරමාධිපත්‍යයට කරන බලපෑමක් ලෙස සැලකිය යුතුය. එලෙස 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතුම බව පෙත්සම අවධාරණය කරයි.
මෙම පනත මගින් දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම නීතිමය අල්ලසක් ලබා දීමක් හා සමාන බව පෙත්සමේ ඇති තවත් තර්කයකි. අතීතයට බලපාන පරිදි මෙලෙස සේවා කාලය වෙනස් කිරීම තුළින් විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ ඇති මහජන විශ්වාසය පළුදු වේ. එය අධිකරණය ග්‍රහණයට ගැනීමේ දේශපාලන උපක්‍රමයක් ලෙස එහි විස්තර කර ඇත. එසේම අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීමද අධිකරණය තමන්ට හිතවත් අයගෙන් පිරවීමේ ව්‍යවස්ථාදායක උපක්‍රමයක් බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
තවද මෙම යෝජනාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බලතල උදුරාගැනීමක් සිදුවන බව නීතිඥවරු පෙන්වා දෙති. විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් දිගු කිරීමේදී ඔවුන්ගේ යෝග්‍යතාවය නැවත ඇගයීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අවස්ථාවක් නොලැබෙන බව පෙත්සමේ සඳහන් වේ.
අවසාන වශයෙන් මෙම නඩුව ඇසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයටම මුහුණදීමට සිදුවන නෛතික ප්‍රතිලාභ ගැටුම පෙත්සම මගින් මතුකර තිබේ. තම විශ්‍රාම වයස වැඩිකරන පනතකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ම තීන්දුවක් ලබාදීම ස්වාභාවික යුක්ති මූලධර්මවලට පටහැනි වේ. එබැවින් මීට ඇති එකම නීත්‍යානුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම වන්නේ අදාළ පනත ජනමත විචාරණයකට යොමු කිරීම බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
