පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල වලට අදාළව, වව්නතිව් ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නද්ධ බළකායට අයත් බුද්ධි සටහන් පොතක් තම බාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවා ඇති අතර, එහිදී විමර්ශන නිලධාරීන් පවසා ඇත්තේ අදාළ සටහන් පොත භාරව සිටි ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. එම සටහන් පොතේ ඇති තොරතුරු ඔස්සේ දීර්ඝ පරීක්ෂණයක් දැනටමත් ක්‍රියාත්මක වන බව ද CIDය පවසා තිබේ.
විමල්, ගම්මන්පිල, දිලිත්ගේ ප්‍රකාශ ඇතුළත් CD තැටි අධිකරණයට
මීට අමතරව, මෙම සිද්ධියට අදාළව අධිකරණයට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍යවරුන් සහ දේශපාලඥයින් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, ගෝඨාභය රාජපක්ෂගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අයගේ ප්‍රකාශ අඩංගු සංයුක්ත තැටි (CD) ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට භාර දී තිබේ.
සැකකරුවන් යළි රිමාන්ඩ්
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යසිල් බාවා ජෙගිල් පාස් සහ එස්.එන්. සරත් සමන්ත යන පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනා ලබන සැප්තැම්බර් 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙම නඩුවේ 03 වන සැකකරු වන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ CIDය භාරයේ තබාගෙන තවදුරටත් ප්‍රශ්න කරමින් සිටියි.
