කුරුවිට බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් අතර ඇති වූ උණුසුම් නොසන්සුන්කාරී තත්ත්වයක් සහ ගැටුමක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිවුදෙනෙකු තුවාල ලබා ඇත.
වාර්තා වන ආකාරයට මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඊයේ (06) රාත්‍රියේ ආරම්භ වී ඇති අතර, පසුව එය පාලනය කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, අද (07) උදෑසන යළිත් වරක් රැඳවියන් අතර ගැටුමක් හටගෙන ඇති බව සඳහන් වේ.
මෙම නොසන්සුන්තාව අතරතුර රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහල් පරිශ්‍රයට ද අලාභහානි සිදුකර ඇත. පැනනැගුණු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර තත්ත්වය සමනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.
සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය සහ බන්ධනාගාර බලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි.
