ව්‍යාපාරික සමුළුවකට සහභාගි වීම සඳහා විදේශගත වීමට අවසර ඉල්ලමින් යෝෂිත රාජපක්ෂ කළ ඉල්ලීමට අදාළව නියෝගයක් නිකුත් කළ නොහැකි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (04) ප්‍රකාශ කර ඇත.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ සැකකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් යෝෂිත රාජපක්ෂට සහ වසන්ත කරන්නාගොඩ එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බැවින්, අදාළ සහනය මහාධිකරණයෙන්ම ලබාගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දී තිබේ. ඒ අනුව, මහාධිකරණයෙන් නොතිසි ලැබුණු පසු එහි පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
2006 වසරේදී අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබියදී යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක ශිෂ්‍ය භටයකු ලෙස බඳවා ගැනීම සහ රජයේ මුදල් වැය කරමින් බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා ඔහුව යැවීම තුළින් රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත.
යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, සිය සේවාදායකයාට ව්‍යාපාරික සමුළුවක් සඳහා විදේශගත වීමට අවශ්‍ය බැවින් දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියද, සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් ඉල්ලීමට අදාළ නියෝග නිතුත් කළ නොහැකි බවත් අදාළ නියෝග මහාධිකරණයෙන් ලබා ගන්නා ලෙසත් ප්‍රකාශ කර තිබේ.

I would like the lawyer who made the request to get his head examined.