අසේල කුරුළුවංශ
මෑත කාලීන දත්ත වලට අනුව පැසිපික් සාගරයේ නැගෙනහිර කලාපයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.8 ක ඉහළ යෑමක් පෙන්නුම් කරන බවත් මෙය ඉතා දැඩි එල්නිනෝ තත්ත්වයක් ඇතිවීම සදහා වන ආසන්න උෂ්ණත්ව මට්ටමක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි.
සාගර ජලයේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා 0.5 කින් ඉහළ යෑම එල්නිනෝ තත්ත්වයක් ලෙස හඳුන්වන බවත් මෙම උෂ්ණත්වය සෙල්සියස් අංශක 02 ක් හෝ ඊට වැඩි අගයකින් ඉහළ යන්නේ නම් එය ඉතා දැඩි එල්නිනෝ තත්ත්වයක් ලෙස විද්‍යාඥයින් පුරෝකතනය කර තිබෙන බවත් ඒ් මහතා පෙන්වාදෙයි.
එල්නිනෝ තත්ත්වය හා එමගින් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බුද්ධි මාරඹේ මහතා මෙසේද පැවසුවේය.
පැසිපික් කලාපයේ සාගර ජලයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.8 කින් පමණ ඉහළ ගොස් තිබෙන බව මෑත කාලීන දත්ත මගින් තහවුරු වී තිබෙනවා. මෙය දැඩි එල්නිනෝ තත්ත්වයක් ඇතිවීම සඳහා වන උෂ්ණත්වය මට්ටමට ඉතා ආසන්න අගයක තිබීම සම්බන්ධයෙන් මේ වනවිට ගෝලීය අවධානය යොමුව තිබෙනවා.එල්නිනෝ තත්ත්වයක් සමග සාමාන්‍යයෙන් ඉන්දියානු සාගරයේ ඉන්දියානු සාගර ද්වි ධ්‍රැව කලාපය කියලා එකක් පැතිරෙනවා. මේක දැනට උදාසීන තත්තවයේ පවතින්නේ. එල්නිනෝ තත්ත්වයත් සමඟ ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවලදී බොහෝ දුරට මේ ද්වි ධ්‍රැව කලාපය මේක ධනාත්මක වෙන්න පුළුවන්. ඒසේ වුවහොත් ඔක්තෝම්බර් හා නොවැම්බර් මාස වලදී අපේ රටට ලැබෙන සංවහන වැස්ස ඉතා දැඩි වීමේ අවධානමක් පවතිනවා.
එල්නිනෝ තත්ත්වය එක් එක් කලාපට වලට බලපාන ආකාරය වෙනස්. ඔස්ට්‍රේලියාවට, ඉන්දුනීසියාවට දැඩි නියං තත්ත්වයක් සමඟ ලැව් ගිනි ඇතිවීමේ අවධානමක් මතුව තිබුණත් ශ්‍රී ලංකාවේද එවැනිම තත්ත්වයක් ඇතිවෙතැයි කියන්න බැහැ. මෙරට තුළ සාමාන්‍යයෙන් ජූලි හා අගෝස්තු මාස වලදී වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා. එල්නිනෝ තත්ත්වය නිසා මේ වියළි කාලගුණික තත්ත්වය තවත් ඉහළ යන්න පුළුවන්. යල කන්නය තරමක් පහුවී වගා කර තිබේනම් බෝග අස්වැන්නට මෙහි බලපෑමක් ඇතිවීමට පුළුවන්. ජූලි අගෝස්තු මාස වලදී බෝගය වර්ධක අවස්ථාවේ තිබෙනවා නම් වාරි ජල සම්පාදන කටයුතු අවම මට්ටමින් හෝ සිදුකර ගහට අවශ්‍යය ජල ප්‍රමාණය ලබාදීම ඉතාම වැදගත්.
එල්නිනෝ තත්ත්වයත් සමඟ 2023 වසරේදී ඇද වැටුණු අදික වැස්සෙන් මධ්‍යම කඳුකරයේ එළවළු වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා කැරට් කිලෝව 2700 ක් දක්වා ඉහළ ගියා අපිට මතකයි. මේවා සියල්ල ගැන අවධානය යොමු කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිගෙන වගා කටයුතු කරන්න කියලා තමයි ගොවි මහත්වරුන්ට දැනුම් දෙන්න තියෙන්නේ.
