නඩු අඩු කරගන්න නම් නීතිපති සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවල ප්‍රශ්න විසදන්න! මේ කරන්නේ ප්‍රෝඪාවක්! – සාලිය පීරිස්

මේ වන විට ගොඩගැසී තිබෙන නඩු අවසන් කිරීමට නම් ඒ සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු අවසන් කළ යුතු බවත්, එයට අදාලව විසදිය යුතු තවත් ප්‍රශ්න පවතින බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසීය.

නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වන විට යෝජනා කර ඇති ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන කාලය පිළිබද අවධානය යොමු කළ යුතු බවත්, එහි අරමුණ පැහැදිලි වන බවත්ය.

ඔහු මෙසේ පැවසීය.

“අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් විශ්‍රාම යෑමේ වයස වැඩි කිරීමෙන් නඩු අඩු කර ගැනීමට නොහැකියි.

ලංකාවේ වැඩිපුරම නඩු තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ දිසා අධිකරණයේ. මුලින් කිව්වේ උපරමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරනවා කියලා.

දැන් සතියකට විතර ඉස්සෙල්ලා ගියොත්, සියලු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකරනවා කියලා කියනවා. එහෙමනම්, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය කියනවා අපේ විශ්‍රාම වයස වැඩිකරන්න එපැයි කියලා. අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැයි කියලා කියනවා. එතකොට ඒ අයගෙන් විමසන්නේ නැද්ද? ඒ අයගේ විශ්‍රාම වයස වැඩි කළා කියලා අර නඩු අඩුවෙන්නේ නැහැ. ඒ අයට තව කොහොම වුණත් අධිකරණ සේවයේ තව අවුරුදු දහයක් හෝ විස්සක් සේවය කරන්න පුළුවන්. සමහර විනිශ්චයකාරවරු ඉන්නවා වයස අවුරුදු තිහයි. තව අවුරුදු තිහක් ඉන්නවා. ඒ අයගේ විශ්‍රාම යාමේ වයස වැඩි කරා කියලා මේ නඩු අඩුවෙන්නේ නැහැ.

නඩු අඩුවෙන්න නම් ආණ්ඩුව ඇත්තටම බලන්න ඕනේ කොහෙද හිර වෙලා තියෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම හිර වෙලා තියෙන තැන් තමයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් එන්න කොච්චර කාලයක් යනවද? එතකන් නඩු දාන්න බැහැ. නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරු කාඩර් එකේ පිරිසෙන් තුනෙන් දෙකක් විතර තමයි ඉන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් විටින් විට රජයේ අධිනීතිඥවරු අස්වෙලා යනවා. ඒ පුරප්පාඩු තියෙනවා. ඒ පුරප්පාඩු පුරවලා නැහැ.

දැන් අපි දන්නවා පහුගිය කාලේ කිව්වා අධිකරණ නිලධාරීන් ඒ කියන්නේ මහේස්ත්‍රාත්වරු පනහක් බඳවාගන්නවායි කියලා. හැබැයි තිස්තුනයි බඳවාගන්න පුළුවන් වුණේ. ඇයි එච්චර අඩු ප්‍රමාණයක් බඳවාගන්න පුළුවන් වුණේ කියන එක ගැන හිතන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නය මේ නිකන් විශ්‍රාම යන වයස වැඩි කරලා විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. වෙන රටවල් වල නඩු වැඩිවෙනකොට ක්‍රමවේද තියෙනවා. උදාහරණයක් හැටියට අපරාධ නඩු අඩුකරන්න නම්, සමහර ඒවා වින්දිතයන්ට උනන්දු කරවන්න ඕනෑ සමහර ඒවායේ වරද පිඵළිගන්න. දඬුවම් සම්බන්ධයෙන් වූ කාරණා. විවිධ ක්‍රම තියෙනවා. රජයේ රස පරීක්ෂක වාර්තා, සහ ප්‍රධාන වශයෙන්ම විමර්ශන.

දැන් අපි දන්නවා සමහරු කියනවා කොහොම වුණත් හොරුන්ට දඬුවම් කරන්න ඕනේ කියලා. අපි කවුරුත් එකගයි.

අපරාධකාරයන්ට දඬුවම් කරන්න ඕනේ. හැබැයි දඬුවම් කරන්නේ, ඕන නම් කොහොමද කරන්න ඕනේ? විමර්ශනය හරියට කරන්න ඕනේ. පොලිසියේ තියෙන ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ ප්‍රශ්න විසඳන්නේ නැතුව බැහැ.

ඒකයි අපි කියන්නේ, මේ විශ්‍රාම වයස වැඩි කරන එක, නඩු අඩුකරන්න කරනවා කියන එක සත්‍යයක් නෙවෙයි. ඒක ප්‍රෝඩාවක්. ඒ මුවාවෙන් තමයි මේ වයස වැඩිකරන්න හදන්නේ.

මොකක්ද මේ යටි අරමුණ? කල්පනා කරන්න ඕනෑ.

ඇයි මේ හදිස්සියේ මේක කරන්න ඕනේ? ඩෙඩ්ලයින් දෙකක්. මොකක්ද මේ නොවැම්බර් මාසේ තියෙන ඩෙඩ්ලයින් එක? මේ රටේ සියලු යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය තනි පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිපදෙනෙක් මත විතරක් රඳා පවතිනවාද? එහෙම අපිට හිතන්න පුළුවන්ද? එහෙම විය යුතුද?

මොකද, මම හිතන්නේ අපි 2022 අරගලය වෙලාවෙත් කතා කරේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. එක පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිපදෙනෙක් මත පවතින ක්‍රමයක් නෙවෙයි, මේ ක්‍රමය වෙනස් කරන එක. එහෙම තමයි ස්ථිරසාර විසඳුමක් ඇතිකරන්න පුළුවන් මේ නඩු ගොඩගැසීම සම්බන්ධයෙන්. එහෙම කරන්නේ නැතුව මේ තමුන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න, තමුන්ගේ දේශපාලන අරමුණ ඉෂ්ට කරගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන එක මේ රටට කරන විශාල හානියක්.”

Author

1 Comment

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading