වත්කම් හා බැරකම් වලින් විද්‍යුත් මාධ්‍යවේදීන් නිදහස්, පුවත්පත් මාධ්‍යවේදීන් නිදහස් නොකෙරේ


2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එහි වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව විද්‍යුත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් හා වෘත්තීය සිමිති සම්බන්ධයෙන් වන වගන්ති සංශෝධනයට ලක්කර තිබේ.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 වන වගන්තිය යටතේ බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව සඳහන් වුවද, ඉදිරිපත් කර ඇති සංශෝධනයේ සඳහන් කර ඇත්තේ 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 22 වන වගන්තිය යටතේ බලපත්‍රලාභී සහ ජනමාධ්‍ය විෂයය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලියාපදිංචි කරන ලද මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවයි. ඒ අනුව මෙම සංශෝධනයෙන් විද්‍යුත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමෙන් නිදහස් කර ඇත.

එසේ වුවද පවතින පනත මගින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවට නියම කර ඇති ප්‍රවෘත්ති පත්‍ර ආඥා පනත යටතේ ලියාපදිංචි පුවත්පත්වල කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන් නිදහස් කිරීමක් මෙම සංශෝධනය මගින් සිදුකර නැත.

මෙතෙක් පැවති ‘ලියාපදිංචි වී ඇති වෘත්තීය සමිතිවල විධායක නිලධරයන්’ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවට වූ වගන්තිය වෙනුවට සංශෝධිත පනත් කෙටුම්පත අනුව ‘ලියාපදිංචි සාමාජිකයන් සංඛ්‍යාව දහසක් ඉක්මවන ලියාපදිංචි වී ඇති වෘත්තීය සමිතිවල විධායක නිලධරයන්’ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවට සංශෝධනය කර ඇත.

ඒ අනුව ලියාපදිංචි සාමාජිකයන් සංඛ්‍යාව දහසකට අඩු වෘත්තීය සමිතිවල විධායක නිලධාරින් මෙම සංශෝධන සම්මත වීමෙන් පසු වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වන්නනේ නැත.

Author

Related Posts