සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන හරක් කටාගේ රැඳවුම් නියෝග ඉවත් කිරීම ඇතුළු සහන ලබාදීම සඳහා අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ඇමති විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළු පිරිසට අද (ජුලි 28) ඇප ලබාදී තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් එසේ ඇප ලබාදී ඇති අතර ඒ අනුව රඛිත රාජපක්ෂ, සජබ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ අරුණ හැන්නදිගේ යන සැකකරුවන් එක් අයකු සඳහා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කර ඇත.
එසේම ශරීර ඇපකරුවන් ඇපයේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපල පවතින බවට සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද නියෝග කර ඇත.
එමෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කර ඇත.
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා පොලීසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කිරීම සඳහා රුපියල් කෝටි 50ක මුදලක් ඉල්ලා පසුව එය රුපියල් කෝටි 20 දක්වා අඩුකර ඉන් අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 12ක මුදලක් ලබා ගැනීම සැකකරුවන්ට එරෙහි චෝදනා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් 08 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කර තිබුණි.
