පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම, අයුතු අවහිරය, පහරදී තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වරදකරු කෙරුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක් අද(28) නියෝග කර තිබේ.
බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර චෝදනා තුනකට වරදකරු වූ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලකට වසර 10 කින් අත්හිටවූ සිරදඬුවමක් නියම කර තිබේ. නඩු විභාගය අවසානයේ චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක චෝදනා හතරකටත්, පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් වැරදිකරුවන් බවට අධිකරණය තීරණය කර තිබේ. කෙසේ වුවද රියදුරු බන්දුල රත්නායක මිය ගොස් ඇති බවට මෙහිදී අනාවරණය වී තිබේ.
2019 වසරේ පෙබරවාරි මස 10 වනදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථ පෙළකින් ගමන් කරමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් ජීප් රථයක් මන්ත්‍රීවරයාගේ රථය ඉස්සර කරගෙන යාමට උත්සාහ කිරීමත් සමඟ දෙපිරිස අතර උණුසුම් බහින්බස්වීමක් හටගෙන තිබේ.
පසුව එම සිද්ධිය දුරදිග යාමෙන්, මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අදාළ පොලිස් රථය අයුතු ලෙස අවහිර කර, එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී තුවාල සිදුකර මරණීය තර්ජන එල්ල කර ඇති බව තහවුරු වී තිබේ.
