ව්‍යවස්ථා සංශෝධනයට ජාතික ජන බලවේගයේ උපලේකම් විරුද්ධ වෙයි

විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීමට ජාතික ජන බලවේගය තීන්දුවක් රැගෙන නොමැති බවත්, මෙම ක්‍රියාවට තමන්ගේ විරෝධය ජාතික ජන බලවේගය තුළ ඉදිරිපත් කර තිබෙන බවත් ජාතික ජන බලවේගයේ උප ලේකම් ලාල් විජේනායක මහතා පැවසීය.

විනිසුරුවරුන්ගේ ධුර කාලය සහ සේවා කොන්දේසි වෙනස් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට හානි විය හැකි ක්‍රියාවක් බව ඔහු ප්‍රකාශ කළේය.

ජුලි 28 වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසූ ප්‍රවීණ නීතිඥවරයා ජාතික ජන බලවේගයේ ප්‍රධානම ව්‍යුහය වන ජාතික විධායක සභාවේ සාමාජිකයෙක්ද වේ. ඔහු 2015 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබද මහජන අදහස් විමසීම සදහා පත් කළ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසේ කීය.

“මා අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ සටනේ අර්ථය හා ඒ ස්වභාවය ගැන. ඉතා කෙටියෙන් වචන ස්වල්පයක් ප්‍රකාශ කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

දැන් මේ, මෙම සටන පක්ෂ අතර සටනක් නෙමෙයි ඇත්තටම. ආණ්ඩුවක් එක්ක සටනකුත් නෙමෙයි. මේ සටනේ අර්ථය මොකක්ද කියලා තේරුම් ගත යුතුව තිබෙනවා.

දැන් මම, මම එන්.පී.පී එකේ, ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ, නායකත්ව මණ්ඩලයේ ඉන්නවා. ඒ වගේම, මෙහෙයුම් කාරක සභාවෙත් ඉන්නවා, විධායක සභාවෙත් ඉන්න කෙනෙක්. එතකොට ඇයි මම එහෙමනම් මේකට විරුද්ධ වෙන්නේ?

ඒ, එන්.පී.පී එක හෝ ඒ ආණ්ඩුව මා දන්නා තරමින්, මම ඒ ඇතුළේ ඉන්න හින්දා මම දන්නවා, අද වෙනකල් තීන්දුවක් අරගෙන නෑ මේවා එකක් ගේන්න කියලා. මම දන්නේ නෑ කවුරුහරි පුද්ගලයෝ හෝ යම් අය අතර එහෙම එකක් තියෙනවද කියලා අදහසක්. අපි තීන්දුවක් අරන් නෑ.

මම ඒවා ප්‍රකාශ කරා. මොකද මට කිව්වා නිශ්ශබ්ද වෙන්න කියලා. මම ඇහුවා මොකක් පිළිබඳවද නිශ්ශබ්ද වෙන්න කියන්නේ කියලා. පස්සේ කිව්වා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සේවා කාලය, විශ්‍රාම යන වයස වැඩිකිරීම ගැන කියලා. මම කිව්වා මම ඒකට එකඟ නෑ කියලා.

ඊටපස්සේ රැස්වීමක් කැඳෙව්වා ඉහළම මණ්ඩලයේ. ඒකෙදී මම කිව්වා මම කියන්න ඕනේ එක කියලා තියෙන්නේ ඉතා කෙටි අදහසක්. එතකොට මම ඒකට විරුද්ධයි. මොකද විරුද්ධ කියලා මම අදහස් දැක්වුවා. ඒ අදහස තමයි මම ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ.

මොකද මම අවුරුදු 55ක් නීතිඥ වෘත්තියේ ගතකරලා තිබෙනවා. ඊටත් වඩා, වාමාංශික ව්‍යාපාරයේ ඊටත් වඩා අවුරුදු පහක් පමණ ගතකරලා තිබෙනවා. අපේ දේශපාලනය හැඩගැස්විලා තිබෙන්නේ, අපි ක්‍රියා කළ යුත්තේ ශිෂ්ටසම්පන්න සමාජයක, ශිෂ්ටසම්පන්න මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වීමේ පරිසරයක් ගොඩනැගීම. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි මගේ දේශපාලනය, මම දිගටම අනුගමනය කරලා තිබෙන්නේ. ඒ වගේ තමයි මම හිතනවා වාමාංශික බොහෝ දෙනෙක්ගේ දේශපාලනය. ඒ විදිහටයි කටයුතු කරන්නේ.

ඉතින් මම ඒක ලිඛිතව දීලා තියෙනවා. මම ජනාධිපතිතුමාටත් දුන්නා. ඒ, මගේ අදහස ඉතා කෙටියෙන්, දීර්ඝ ලිපියක් නෙවෙයි නිකන් එක පිටුවක මම දුන්නා. මම කිව්වා මම එහෙම, ඒ ඒ දේශපාලනය, මගේ ජීවිතයේ දර්ශනය එක නිසා, මට බෑ මේකට නිශ්ශබ්ද වෙන්න කියලා. මට මගේ අදහස් ප්‍රකාශ කළ යුතුව, අවශ්‍යයි. ඒ වගේම මට මේ සටනින් පිටවෙන්න බෑ.

මේ අපි සටන් කරන පළවෙනි වතාව නෙවෙයි අධිකරණයේ ස්වාධීනත්වය ගැන. අපිට මතකයි 1970 ගණන්වල ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, එතුමාට විරුද්ධව සටන් කළා. බලවත් පුද්ගලයෝ. ඔවුන්ට විරුද්ධව සටන් කළා. ඊළඟට ජේ.ආර් ජයවර්ධන, විරුද්ධව සටන් කළා. ඊළඟට නිහාල් ජයවික්‍රම වගේ අය, විරුද්ධව සටන් කළා. ඒ අය එක්කෙනෙක්වත් හිතුවේ නෑ ඒ අයට පස්සේ අන්තිමට වෙච්ච දේ වෙයි කියලා. ඒක නම් මට සත්‍ය වශයෙන්ම කියන්න පුළුවන්.

ඒ සටන් කළේ එකම අරමුණක් නිසා. අර මම අර කිව්වා, ශිෂ්ටසම්පන්න සමාජයක, ශිෂ්ටසම්පන්න මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍යයි. අධිකරණයේ ස්වාධීනත්වය නැත්නම් අපි වහල්ලු. වහල් තත්ත්වයට වැටෙනවා. ඒකට විධායකයට ඕනේ තීන්දුවක් ගන්න පුළුවන්. සාධාරණය ගැන ප්‍රශ්න කරන්න තැනක් නෑ. අපේ හඬ නගන්න තැනක් නෑ. එහෙමනම් අර වල්බූරු නීතියක් තමයි රටේ ඇතිවන්නේ. ඒ නිසා ඒක, ඒක නිසා තමයි අපි, මේ රටේ ඉතා වැදගත්ම දේ තමයි අධිකරණයේ ස්වාධීනත්වය.

ඒකෙත් ඉන්න විනිශ්චයකාරවරුන්ගේ, විශේෂයෙන්ම ඉහළ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ධුර කාලය වෙනස් නොකිරීම, සේවා කොන්දේසි වෙනස් නොකිරීම, ඒ අධිකරණයේ ස්වාධීනත්වය රඳාපවතින වැදගත් කුළුණක් ඒක. එක කුළුණක්. ඒක බිඳවැටුණොත් මුළු අධිකරණයේ ස්වාධීනත්වය කියන සංකල්පයම එහෙන් පිටින්ම බිඳවැටෙනවා.

ඒක අපි, අපිට අපේ අනාගත පරපුරට අපි ඉතුරු කරලා යන්නේ එහෙමනම් ඒක අදපැත්තෙ සමාජයක් ඇතිවෙන පරිසරයක් නිර්මාණය කරලයි යන්නේ. අපි 71 දී සටන් කළෙත් ෆීලික්ස් ඩයස් වගේ බලවත් පුද්ගලයන්ට විරුද්ධව, ජේ.ආර් ජයවර්ධන වගේ පුද්ගලයන්ට විරුද්ධව සටන් කළෙත්, මේ නිදහස, භුක්ති විඳීමේ අයිතිය ජනතාවට ආරක්ෂා කරලා දෙන්න. ඒක තමයි අදත් සටන් කරන්නේ.

මගෙන් අහනවා සමහර අය, ඔබට විරුද්ධව විනයානුකූලව කටයුතු කරයි කියලා. නෑ නෑ මොකද අපි, අපි තීන්දුවක් අරන් නෑ. ජාතික ජන බලවේගය කොතනකවත් තීන්දුවක් අරන් නෑ. කිසිම ජාතික ජන බලවේගයේ මණ්ඩලයක, මම ඉහළම මණ්ඩලයේ නායකත්ව මණ්ඩලයේ ඉඳලා ඉන්නවා ඔක්කොගෙම, කිසිම මණ්ඩලයක් තීන්දුවක් අරගෙන නෑ විනිශ්චයකාරවරුන්ගේ ධුර කාලය දික් කළ යුතුයි කියලා. ඒ නිසා මේක හිතුවක්කාර තීන්දුවක් වෙන්න ඕනේ. වෙන කවුරුවත් තීන්දු කරාද දන්නේ නෑ ඒ මණ්ඩල නම් තීන්දු කරලා නෑ කියලා මට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්.

ඒ නිසා මම වැඩිදුරට අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේක පක්ෂ අතර ගැටීමක්, නැත්නම් සංවිධාන අතර ගැටීමක්, හෝ එහෙම පටු ආකල්ප වලින් බැලිය හැකි ප්‍රශ්නයක් නෙවෙයි. මේක ඊට වඩා පුළුල් මුළු සමාජයට බලපාන, පරම්පරා ගණනාවකට බලපාන ප්‍රශ්නයක් පිළිබඳ සටනක්. මේ සටනේ පටු විදිහට මගේ පක්ෂය හෝ මගේ කණ්ඩායම ඒ වගේ හිතලා මේ සටන නිගමනය, නිගමනය කරන්නට බැරිය කියන එකයි මම ප්‍රකාශ කර සිටින්නේ. බොහොම ස්තූතියි.”

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading