ව්‍යවස්ථා සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලයේ නිල නිවේදනය මෙන්න! අභියාචනාධිකරනය පුළුල් කිරීමේ අරමුණ ඉස්මතු කරයි!

මේ වන විට ආන්දෝලනයට ලක්ව ඇති, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද ජුලි 27 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුව අභියාචනාධිකරණය මුල් කරගත් සංශෝධනයක් ලෙස රජය විසින් පෙන්වා දී තිබේ.

එම සංශෝධනය පිළිබද කැබිනට් තීන්දු දැනුම් දීමේ නිල මාධ්‍ය නිවේදනයෙහි මෙසේ සදහන් වේ.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 146 වන ව්‍යවස්ථාව ප්‍රකාරව, අභියාචනාධිකරණයේ අධිකරණ බලය ප්‍රාදේශීයව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. අපරාධ සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණ බලය ඇති පළාත් බද මහාධිකරණවල සහ සිවිල් අභියාචනා බලය පවතින සිවිල් අභියාචනා මහාධිකරණවල පවතින ඉහළ නඩු සංඛ්‍යාව ප්‍රමාදයකින් තොරව විසඳීම සඳහා මහාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ද ඉහළ නැංවිය යුතුව තිබේ.

එමෙන්ම, අධිකරණ ප්‍රමාණය ඉහළ නැංවීම සහ ප්‍රාදේශීයව අභියාචනාධිකරණ ක්‍රියාත්මක කිරීම හේතු කොට ගෙන එම අධිකරණ වලට පළපුරුදු සහ විද්වත් විනිශ්චයකාරවරුන්ගේ සේවය ලබා ගැනීමට හැකි වන පරිදි විනිශ්චයකාරවරුන්ගේ දැනට පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම ගත යුතු වයස ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.

ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින් අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.‘

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading