මේ වන විට සම්මත කරගැනීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත ඉදිරි සතිය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, එයින් පසු වහාම ගැසට් කිරීමට නියමිත බවත් කැබිනට් මණ්ඩලයේ ප්‍රබල ප්‍රකාශකයෙකු පැවසීය.
එලෙස සතියක් පමණ තැබීමෙන් පසු, එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත බවත්, අධිකරණයේදී විරෝධය දැක්වීමට නියමිත කාලය අවසන් වූ විගස සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අයවැය නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට පෙර මම ව්‍යවස්ථා සංශෝධනය අවසන් කරන බවයි.
මෙම සංශෝධනය කෙටුම්පත් කිරීම සදහා වන කැබිනට් මණ්ඩල පත්‍රිකාව ජුලි 27 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
අප ඊයේ දිනයේදීද වාර්තා කළ ආකාරයටම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 67 දක්වා වැඩි කෙරෙනු ඇති බව එම කැබිනට් මණ්ඩල සාමාජිකයා තහවුරු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස මේ වනවිට පවතින්නේ වයස අවුරුදු 65 ලෙසය.
එමෙන්ම අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරෙනු ඇති අතර අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව ද 5කින් හෝ 4කින් වැඩි කෙරෙනු ඇත. අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස මේ වනවිට පවතින්නේ වයස අවුරුදු 63 ලෙසය.
අභියාචනාධිකරණයේ සංශෝධනය ගැන පැහැදිලි කරමින් අදාල ප්‍රකාශකයා කිවේ පළාත් අභියාචනාධිකරණ පිහිටුවීමක් සිදු නොකරන බවයි. දැනටමත් ව්‍යවස්ථානුකූලව ඇති බලතල ප්‍රකාරව අභියාචනාධිකරණ විනිසුරුවරුන් පළාත් මට්ටමෙන් නඩු විභාග කිරීම ආරම්භ කරන බව එම ප්‍රකාශකවරයා පැවසීය. ඒ අනුව සිදු කරන්නේ මෙරට ප්‍රධාන අභියාචනාධිකරණයේ සාමාජික විනිසුරුවරුන් අදාල පළාත්වලට සේ නඩු විමසීමය.
මෙම ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයසද අවුරුදු 63 දක්වා ඉහළ දමන අතර මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවද 120 දක්වා වැඩි කෙරෙනු ඇත. එය සිදුකිරීමට නියමිතව ඇත්තේ අධිකරණ සංවිධාන පනතට සංශෝධන ඇතුළත් කිරීම මගිනි. කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයක නව මහාධිකරණ පිහිටුවීමට නියමිතය.
මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යෑමේ වයසද අවුරුදු 62 දක්වා වැඩි කෙරෙන අතර මහේස්ත්‍රාත්වරුන් හා විනිසුරුවරුන්ගේ සේවය රාජ්‍ය සේවයෙන් වෙන්වූ සේවාවක් බවට පත් කිරීමටද නියමිතය.
