රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ ලබන ජූලි 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
විමල් වීරවංශ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදී තිබූ රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 41ක අලාභයක් සිදුකළ බවට සැකකරුට චෝදනා එල්ල වී ඇත. මෙම සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉකුත් ජූලි 15 වැනිදා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
නඩුව අද දින නැවත කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ තබමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ වාහන 40 අතුරින් වාහන 10ක් ජාතික නිදහස් පෙරමුණේ පරිභෝජනය සඳහාත්, තවත් වාහන 20ක් අමාත්‍ය මණ්ඩලයේ පරිභෝජනය සඳහාත් යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.
සැකකාර සරත් වීරවංශ මහතාට මෙම රජයේ වාහන පරිභෝජනය කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව විමර්ශනවලදී තහවුරු වී ඇති බවත්, ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකරු නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගත් බවත් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් මේ වන විටත් ඇප මත මුදාහැර ඇති බව ප්‍රකාශ කරමින් සහ සිය සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් සුදුසු කොන්දේසියක් මත ඔහු ඇප මත මුදාහරින ලෙස ජනාධිපති සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දෙමින් සැකකරු එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
