ශ්‍රී ලංකා ටෙලිකොම් යළි අර්බූධයක, මේ ආණ්ඩුව පත් කළ සභාපතිවරයාත් ප්‍රශ්න විසඳීමට අසමත් – ටෙලිකොම් වෘත්තීය සමිති

ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතනය වර්තමානයේ දැඩි පාලන හා කළමනාකරණ අර්බුදයකට ලක්ව ඇති බවත්, වත්මන් රජය විසින් පත්කරන ලද සභාපතිවරයා ආයතනයේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට සම්පූර්ණයෙන්ම අපොහොසත් වී ඇති බවත් ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් What News කළ විමසීමේදී ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය සඳහන් කළේ, සභාපතිවරයා ආයතනයේ අත්‍යවශ්‍ය කටයුතු ඉටුකිරීම වෙනුවට තවදුරටත් ගැටලු සංකීර්ණ කරමින් සිටින බවයි.

ආයතනය තුළ සිදුවන දූෂණ හා අක්‍රමිකතා මැඩපැවැත්වීමට පියවර ගන්නවා වෙනුවට සභාපතිවරයා දූෂිතයන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන බව පැහැදිලිවම පෙනී ගොස් ඇති බව පැවසූ අතර, පුරප්පාඩුව පැවති උසස් නිලධාරී තනතුරු සඳහා පත්වීම් ලබාදීමේදී දැඩි පක්ෂපාතීත්වයක් හා පෞද්ගලික හිතවත්කම් මත පදනම් වූ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බවටද චෝදනා කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ අභ්‍යන්තර උසස්වීම් මගින් නුසුදුසු පුද්ගලයන් තනතුරුවලට පත්කර ඇති බවත්, බාහිරින් සුදුසු නිලධාරීන් ලබාගත හැකි තනතුරුවලට පවා මෙලෙස අභ්‍යන්තරව සිටින නුසුදුසු පුද්ගලයන් පත්කිරීම හේතුවෙන් ආයතනයේ පාලන පද්ධතිය බිඳවැටීමට ලක්ව ඇති බවත්ය.

ටෙලිකොම් වැනි තාක්ෂණික හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයකට අත්‍යවශ්‍යම තනතුරක් වන ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුර සඳහා වසර දෙකක කාලයක සිට සුදුස්සෙකු පත් කිරීමට පාලනාධිකාරිය අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් එම සංගමය, මෙවැනි වැදගත් තාක්ෂණික හා මෙහෙයුම් තනතුරු පුරප්පාඩුව පැවතීම ආයතනයේ ඉදිරි ගමනට මෙන්ම පාරිභෝගික සේවාවන්හි ගුණාත්මකභාවයට ද දැඩි ලෙස බලපා ඇති බව වැඩිදුරටත් අවධාරණය කළේය.

ආයතනයේ පහළ සිට මධ්‍යම තල දක්වා සේවකයන්ගේ පවතින වැටුප් විෂමතාවලට විසඳුම් ලබා නොදෙන පාලනාධිකාරිය, ඉහළ නිලධාරීන්ගේ වැටුප් පමණක් වැඩි කරගැනීම සඳහා ‘Salary Survey’ නමින් ව්‍යාජ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවටද මෙහිදී චෝදනා එල්ල විය.

දූෂිතයන් ආරක්ෂා කිරීමට වන්දි සහ විශ්‍රාම වරප්‍රසාද!

ආයතනය තුළ සිදුවූ දූෂණවලට එරෙහිව නීතිමය හෝ විනය පියවර ගන්නවා වෙනුවට, අදාළ වංචාවලට සම්බන්ධ ඇතැම් පුද්ගලයන්ට වන්දි ලබා දී ගෙදර යැවීමටත්, තවත් පිරිසකට විශ්‍රාම යන තෙක් තනතුරුවල රැඳී සිටීමට ඉඩ සලසා දී ඇති බවත් වෘත්තීය සමිති චෝදනා කරයි.

එමෙන්ම, මීට පෙර දූෂණ චෝදනා මත ආයතනයෙන් ඉවත් කර සිටි ඇතැම් නිලධාරීන් නැවත සේවයට කැඳවා, ඔවුන්ට විශ්‍රාම යන තෙක් වරප්‍රසාද භුක්ති විඳීමට සැලැස්වීම පිටුපස ආයතනය තුළ සිදුවූ දූෂණවලට එරෙහිව නීතිමය හෝ විනය පියවර ගන්නවා වෙනුවට, අදාළ වංචාවලට සම්බන්ධ ඇතැම් පුද්ගලයන්ට වන්දි ලබා දී ගෙදර යැවීමටත්, තවත් පිරිසකට විශ්‍රාම යන තෙක් තනතුරුවල රැඳී සිටීමට ඉඩ සලසා දී ඇති බවත් වෘත්තීය සමිති චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“අපි කොච්චර වාර්තා කළත් සභාපතිවරයා ඒ ගැන පියවර ගන්නේ නැතුව තමන්ගේ පැවැත්ම හදාගන්න ඉහළ නිලධාරීන් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ගෙනියනවා. සමහර දූෂණවලට අනුබල දෙන විදිය දැක්කහම සභාපතිවරයාත් මේවට සම්බන්ධද කියන ලොකු සැකය මතුවෙනවා. අපිට මේවා සාධක සහිතව ඔප්පු කරන්න පුළුවන්.”

ටෙලිකොම් ආයතනය තුළ කිසිඳු ගුණාත්මක දියුණුවක් සිදු නොවෙද්දී, සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය මාධ්‍ය ප්‍රකාශ ලබා දෙමින් බොරු සංදර්ශන පවත්වන බවත්, එමගින් ජනාධිපතිවරයා සහ මහජනතාව නොමඟ යවන බවත් ජශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය ප්‍රකාශ කළේය.

එබැවින්, ආයතනය විනාශයෙන් බේරාගැනීම සඳහා “අකාර්යක්ෂම සහ දූෂිතයන් සුරකින සභාපතිවරයා වහාම ධුරයෙන් ඉවත් කළ යුතුයි” යන්න වෘත්තීය සමිතිවල ප්‍රධාන ඉල්ලීම වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් බෙදා හරින ලද පත්‍රිකාව පහත දැක්වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading