අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව විවාද කිරීම සඳහා දින දෙකක කාලයක් ලබාදෙන ලෙස විපක්ෂය කළ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.
ආණ්ඩුවේ ඉල්ලීම පරිදි අද (ජුලි 22) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇති අතර එහිදී ආණ්ඩුව ප්‍රකාශ කර ඇත්තේ විශ්වාශභංග යෝජනාව පිළිබඳ විවාදයට එක් දිනක් පමණක් ලබාදිය හැකි බවයි.
ජුලි 24 සිකුරාදා දින අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්විය හැකි බව එහිදී ආණ්ඩු පක්ෂය දැනුම් දී ඇති අතර එය එදිනට සිදුනොකර වෙනත් දිනයක පවත්වන ලෙස විපක්ෂය ඉල්ලා ඇත. ඒ සිකුරාදා දිනයේ විවාදය පැවැත්වුවහොත් දින දෙකක කාලයක් එම විවාදය පැවැත්විය නොහැකි බව පෙන්වා දෙමිනි.
එමෙන්ම එහිදී විපක්ෂයේ පක්ෂ 12ක් එම විවාදයේදී අදහස් දැක්වීමට ඉදිරිපත් වී සිටින නිසා ඒ සඳහා දින දෙකක කාලයක් අවශ්‍ය බව විපක්ෂයේ නියෝජිතයින් පෙන්වා දී තිබුණද, ආණ්ඩුව එයට එකඟතාවය පළනොකරමින් සිකුරාදා දිනයේ විවාදය පවත්වා අවසන් කිරීමට තීරණය කර ඇත.
