භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ශ්‍රී ලංකාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 715ක (රුපියල් බිලියන 214.7ක) දැවැන්ත මුදලක් නීතිවිරෝධීව විදේශගත කිරීමේ සිද්ධිය පිටුපස ඩුබායි රාජ්‍යය කේන්ද්‍ර කරගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් විශුද්ධිකරණ ජාලයක් ක්‍රියාත්මක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අනාවරණය කරයි.
මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදු කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා විසින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව (COPF) හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
මෙම ප්‍රකාශයේ අනාවරණය වන වැදගත්ම කරුණ වන්නේ, සමාගම් 105ක් සහ බැංකු ගිණුම් 227ක් හරහා ව්‍යාජ ඉන්වොයිසි යොදාගනිමින් මෙම ඩොලර් විදේශගත කර ඇත්තේ හුදෙක් බදු වංචා කිරීමේ අරමුණින් පමණක් නොව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් අයුතු ධනය විශුද්ධිකරණය (Money Laundering) කිරීමේ අරමුණින් බවයි. මේ වන විටත් ඊට අදාළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ජාත්‍යන්තර පොලීසියේ (INTERPOL) සහාය ඇතිව ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද ඒ මහතා තහවුරු කළේය.
“ගරු සභාපතිතුමනි, භාණ්ඩ ආනයනය සිදුකරන බවට හඟවා විදේශ රටවල්වලට මුදල් ප්‍රේෂණය සිදුකර භාණ්ඩ ආනයනය නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පොලිස්පතිවරයා අමතා වාර්තා තුනක් 2026 ජනවාරි 20, පෙබරවාරි 23 සහ මාර්තු 06 වැනි දින ඉදිරිපත් කළා. එම වාර්තා තුන තුළදී පළමු වාර්තාව තුළ 2026 ජනවාරි 20 තුළ ආයතන 89ක් මේ ආකාරයට ටීටී (Telegraphic Transfer) වලින් භාණ්ඩ ආනයනය කර, නමුත් කිසිදු භාණ්ඩයක් මේ වනතුරු රටට රැගෙන පැමිණ නොමැති බවටත්, ඒ වගේම 2026 පෙබරවාරි 23 වාර්තාව තුළින් එවැනි ආයතන 04කුත්, 2026 මාර්තු 06 ට අදාළව එවැනි ආයතන 12ක් සම්බන්ධයෙනුත් වාර්තාවක් ඉදිරිපත් කළා.
සම්පූර්ණ ඒ වාර්තාව අනුව ගත්තොත් සමාගම් 105ක් ඒකට සම්බන්ධ වෙලා තිබ්බා. ඒ සමාගම් 105 ට අදාළව රුපියල් බිලියන 214.7ක්, දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 715ක ටීටී විදිහට මුදල් ප්‍රමාණයක් විදේශගත කරලා තිබෙනවා. ඒ විදේශගත කරපු මුදල්වලට කිසිදු භාණ්ඩයක් මේ රටට ගෙනාවේ නෑ කියල තමයි එම වාර්තාව තුළ සඳහන් වුණේ.
ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ FCID (මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය) මගින් විමර්ශනයක් ආරම්භ කළා. ඒ විමර්ශනයේදී අනාවරණය වෙනවා, මීට සම්බන්ධ සමාගම් 105, ඒ සමාගම් 105 හි අධ්‍යක්ෂවරුන් හා සමාගම් ලේකම්වරුන් සිටින සංඛ්‍යාව අපි පරීක්ෂාවට ලක් කළා. මේ සමාගම් 105 තුළම මේ සඳහා පුද්ගලයෝ 55 දෙනෙක් තමයි සම්බන්ධ වෙලා හිටියේ. එතකොට මේ සඳහා බැංකු ගිණුම් 227ක් සම්බන්ධ කරගෙන තිබ්බා. මේ ඇමරිකානු ඩොලර් මිලියන 715ක ආසන්න මුදලක් ටීටී 24,300කට ආසන්න ටීටී සංඛ්‍යාවක් යොදලා තිබ්බා. මෙය 2023 ජනවාරි පළවෙනිදා සිට 2026 මාර්තු මාසය දක්වා වන කාලය සඳහා තමයි මෙවැනි ආකාරයකට වාර්තාව ඉදිරිපත් වුණේ.
මේ සම්බන්ධව දීර්ඝ ලෙස පරීක්ෂා කරනකොට ලංකාවේ ප්‍රධාන බැංකු 13ක් මීට සම්බන්ධ වෙලා තිබ්බා. සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක්. මේ සම්බන්ධව දීර්ඝ ලෙස පරීක්ෂා කිරීමේදී, මීට අදාළව එක සමාගමක් අපි හඳුනාගත්තා මේ අදාළ ටීටී යොමු කරන සමාගම් අතුරින්. ඒ සමාගම් අතුරින් එක සමාගමක ඉන්න පුද්ගලයෙක්ගේ මම මේ වනවිට අත්අඩංගුවට අරගෙන අධිකරණ කටයුත්තක් සිදු වෙනවා, ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නවා. ඔහු සමාගම් 43කට සම්බන්ධ වෙනවා, ඒ සමාගම්වල අයිතිකරුවෙක් විදිහට ඉදිරිපත් වෙනවා. ඔහුගේ සමාගම් 43 සම්බන්ධයෙන් පරීක්ෂා කරනකොට ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 43ක මුදල් ප්‍රමාණයක් මෙම කාලවකවානුව තුළ ටීටී විදිහට යොමුකරලා තිබෙනවා.
ඒ පුද්ගලයා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනයක් කරන අවස්ථාවේදී, ඔහු ලංකාවේ තැරැව්කරුවන්ගෙන් මුදල් ලබාගෙන ඒ තැරැව්කරුවන්ගෙන් අවශ්‍ය කරන documents (ලේඛන) ව්‍යාජ ලෙස සකස් කරලා බැංකුවලට ඉදිරිපත් කරලා තමයි ටීටී විදිහට ඉදිරිපත් කරන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම Invoice (ඉන්වොයිසි) එකක් සකස් කරන්නේ, ඔහු ඔහුගේ ඒ අදාළ තැරැව්කරුවෝ ඔහුගේ කාමරවල තියෙන පරිගණකවලින් ව්‍යාජ ලෙස ඉන්වොයිසියක් සකස් කරලා බැංකුවලට ඉදිරිපත් කරලා, සමහර බැංකුවල නිලධාරීන්ගේ සහයෝගය ඇතිව තමයි මේ කටයුතු සිදුකරලා තිබුණේ.
ඔහුගේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය සිදුකරගෙන යනකොට, ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමට හා සම්බන්ධ එරට රැඳී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගේ මුදල් මේ ක්‍රමය යටතේ ඩුබායි රාජ්‍යයට යොමුකරලා තිබෙන බවටත් විමර්ශනයේදී අනාවරණය කරගත්තා. ඊට අදාළව ඩුබායි රාජ්‍යයේ සිටින ප්‍රධාන සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් පසුගිය කාලවකවානුව තුළදී ඉන්ටපෝල් හරහා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබිලා, දැනට ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරලා සිටිනවා මේ සිදුවීම හා සම්බන්ධව. ඔවුන් සඳහන් කරපු ආකාරයට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් මේ ඩුබායි රාජ්‍යයේ සිටින තවත් පුද්ගලයෙක් මාර්ගයෙන් ඔහුගේ ගිණුමට ලංකාවේ එකතුවෙන සල්ලි ටික ඔහුගේ ගිණුමට තැරැව්කරුවන් මාර්ගයෙන් යොමු කරනවා.
ඇත්තටම ගත්තොත් මේ අදාළ පුද්ගලයා Drug trafficking (මත්ද්‍රව්‍ය ජාවාරම්) වලින් උපයාගත්ත මුදල් දැයි යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇතුව හෝ නැතුව ඔහු කරන්නේ කමිෂන් එකක් තියාගෙන ලැබෙන මුදල් ටික එකතු කරලා ඒකට ටීටී ගහලා ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලයත් ඔහුගේ සම්බන්ධ වෙලා තිබ්බ අනෙකුත් කොටස් පරීක්ෂා කරනකොට ඉදිරිපත් කරලා තියෙන බොහෝ කස්ටම් ඩොකියුමන්ට්ස් (රේගු ලේඛන) සමහර වෙලාවට බැංකුවලින් ඉල්ලීමක් කරලා තිබුණා, ඒ ඔක්කොමත් ව්‍යාජ කස්ටම් ඩොකියුමන්ට්ස් බවට තමයි අපිට අනාවරණය වෙලා තිබ්බේ, කූඨ ලේඛන විදිහට සකස් කරලා ඉදිරිපත් කරලා තියෙන්නේ.
මේ හා සමානව තවත් පැමිණිලි දෙකක් ඉදිරිපත් වුණා ඒ කැලණිය කොට්ඨාසයෙන්. ත්‍රීවීල් රථයක් පරීක්ෂාවට ලක්කරනකොට මිලියන 30ක මුදලක් ත්‍රීවීල් රථයේ තිබුණා. ඒ මිලියන 30ක මුදල සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය කරනකොට මෙවැනි ආකාරයේම තවත් ගනුදෙනු කරන සමාගමක මුදල් තැන්පත් කරගැනීම සඳහා යනවා බවට තමයි වාර්තාව වුණේ. ඔවුනුත් මත්ද්‍රව්‍ය ඇබ්බැහි සහ ජාවාරමට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්.
ඊට අදාළවත් මේ ඉස්සෙල්ලා සමාගමට සමගාමීව තවත් විමර්ශනයක් ආරම්භ කළා. එම විමර්ශනයේදීත් ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් හා පෞද්ගලික බැංකු දෙකක් සම්බන්ධ කරගෙන ඩොලර් මිලියන 40කට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ ආකාරයට පහුගිය කාලවකවානුව තුළ විදේශගත කිරීම් සිදුකරලා තිබ්බා. මීට අදාළව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සහ Proceeds of Crime Investigation Division එකින් දැනට සිදුකරමින් පවතිනවා.”
