ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පරිහරණය සඳහා භාවිතා නොකළද 2025 හා 2026 ජුනි දක්වා කාලයේදී ජනාධිපති නිල නිවාස නඩත්තුව සහ අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 13.9ක මුදලක් වැයකර ඇති බව අනාවරණය වේ.
එසේ අනාවරණය වූයේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අගමැති ආචාර්ය හරිනි අමරසූරියගෙන් අසන ලද ප්‍රශ්නයකට අද (ජුලි 22) ලබාදුන් පිළිතුරු අනුවය.
ඒ අනුව 2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර නඩත්තුව සඳහා රුපියල් මිලියන 7.5ක් හා අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 3ක් වශයෙන් රුපියල් මිලියන 10.5 ක මුදලක් වැයකර ඇති අතර 2026 වර්ෂයේ ජුනි මස දක්වා නඩත්තුව සඳහා රුපියල් මිලියන 3ක් හා අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 0.4ක් වශයෙන් රුපියල් මිලියන 3.4ක මුදලක් වැයකර තිබේ.
එම ප්‍රශ්නයට ලබාදුන් පිළිතුරු අනුව 2018 වර්ෂයේදී ජනාධිපති මන්දිර නඩත්තුව සඳහා රුපියල් මිලියන 15ක් හා අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 110ක් වශයෙන් රුපියල් මිලියන 125ක මුදලක්ද, 2019 වර්ෂයේදී නඩත්තුව සඳහා රුපියල් මිලියන 15ක් හා අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 62.2ක් වශයෙන් රුපියල් මිලියන 77.2ක්ද, 2020 වර්ෂයේදී නඩත්තුව සඳහා රුපියල් මිලියන 12ක් හා අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 22.7ක් වශයෙන් රුපියල් මිලියන 34.7ක්ද, 2021 වර්ෂයේදී නඩත්තුව සඳහා රුපියල් මිලියන 10ක් හා අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 18.8ක් වශයෙන් රුපියල් මිලියන 28.8ක්ද, 2022 වර්ෂයේදී නඩත්තුව සඳහා රුපියල් මිලියන 12ක් හා අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 13.6ක් වශයෙන් රුපියල් මිලියන 25.6ක්ද, 2023 වර්ෂයේ නඩත්තුව සඳහා රුපියල් මිලියන 26.4ක් හා අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 11ක් වශයෙන් රුපියල් මිලියන 37.4ක්ද, 2024 වර්ෂයේ නඩත්තුව සඳහා රුපියල් මිලියන 13.9ක් හා අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 10.5ක් වශයෙන් රුපියල් මිලියන 24.4ක්ද වැයකර තිබේ.
එම පිළිතුර අනුව රටපුරා ජනාධිපති මන්දිර 7ක් ඇති අතර ඒ කොළඹ, මහනුවර, නුවරඑළිය, කතරගම, අනුරාධපුර, මහියංගනය හා බෙන්තොට යන ප්‍රදේශවලය.
