එයාර් බස් දූෂණ විමර්ශන වාර්තාව ඔක්තෝබර් 13 වැනිදා ඉදිරිපත් කරන්නැයි අල්ලස් කොමිසමට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් එයාර් බස් යානා මිලදී ගැනීමේදී සිදුවූවා යැයි කියන ප්‍රකට අල්ලස් සිද්ධියේ විමර්ශන ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස 13 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) අල්ලස් කොමිසමට නියෝග කර තිබේ. අද දින මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

නඩු විභාගය ආරම්භයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදුකර ඇති විමර්ශනවල වත්මන් තත්ත්වය ඇතුළත් වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර තවදුරටත් විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා සහ එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා තවත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. එම ඉල්ලීම සලකා බලමින් ලබන සිද්ධියේ විමර්ශන ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ඔක්තෝබර් 13 ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද දින නඩුවේ කරුණු සලකා බැලෙන අවස්ථාවේදී, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා අවසර ඉල්ලා සිටියද, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊට අවසර දීම ප්‍රතික්ෂේප කර තිබේ. එහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත්තේ අදාළ ව්‍යාපාරිකයා මේ වන තෙක් මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් නම් කර නොමැති බැවින්, මෙම අවස්ථාවේදී ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම අවශ්ය් නොවන බවයි.

මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා අභිරහස් ලෙස මියගිය අතර, නඩුවේ දෙවන සැකකාරිය වන ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ යන අයට එරෙහිව අධිකරණය විසින් මීට පෙර විවෘත වරෙන්තු නිකුත් කර තිබුණා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading