අත්අඩංගුවට නොගන්නැයි ටිරාන් උසාවි යයි

පෞද්ගලික සමාගමක් අතර සිදුවූ චෙක්පත් ගනුදෙනුවක් මුල් කරගනිමින් සිලෝන් නිව්ස් පේපර්ස් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, හිටපු අමාත්‍ය ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ලබන ජූලි 30 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු මහේන්ද්‍ර සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදී.

සිලෝන් නිව්ස් පේපර්ස් පෞද්ගලික සමාගම සහ කේසර ලංකා පෞද්ගලික සමාගම අතර සිදුවූ චෙක්පත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිල්ලකට අනුව, ටිරාන් අලස් ඕනෑම මොහොතක අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතින බව පෙත්සමෙහි දක්වා ඇත.

මෙම සිදුවීමට අදාළව පොලිසිය විසින් දැනටමත් පෙත්සම්කාර සමාගමේ සේවකයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවද අධිකරණයට දන්වා සිටියේය. එවැනි තත්ත්වයක් තුළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නීතිවිරෝධී බැවින්, එය වළක්වන රිට් ආඥාවක් සහ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙහිදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාත් කොරයා මහතා කරුණු දක්වන ලද අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන 30 වැනිදාට කල් තැබීය.

Author

1 Comment

Comments are closed.

Related Posts