රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
අපගේ ආරංචිමාර්ගවලට අනුව සුරේෂ් සලේට හෘදයාබාධයක් වැළදීමක් සිදුව නොමැති අතර, තක්සේරු කිරීමකින් පසු ඉදිරියේදී හෘදය රෝග පිළිබද තක්සේරුවක් කිරීම සදහා හෘදය රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කළේ, ඉදිරි වෛද්‍ය පරීක්ෂණ සදහා මෙලෙස රෝහලට ඇතුළත් කිරිම සිදු කර ඇති බවය. ඔහුට හෘදයාබාධ තත්වයක් ඇතිව වාට්ටුව මාරු කළ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු බැවින් ඔහුට හෘදයාබාධයක් තිබෙන බවක් අපට ප්‍රකාශ කළ හැකිදැයි අප කළ විමසීමේදි අධ්‍යක්ෂවරයා කිවේ එසේ ප්‍රකාශ කිරිමේ හැකියාවක් නොමැති බවය. පරීක්ෂණ සිදු කරන බවත්, යම් පුද්ගලයෙකුගේ රෝගාබාධ පිලිබද මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමේ හැකියාවක් වෛද්‍යවරුන්ට නොමැති බවත් ඔහු කීය. ඔහුව පරීක්ෂණ කිහිපයකට ලක් කරන බව පමණක් ප්‍රකාශ කරන බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, සුරේෂ් සලේ මහතාගේ බිරිද මනෝරි සලේ මෙසේ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
‘සුරේෂ්ව උදේ අරගෙන ගිහින් තිබුණා කාඩියෝලොජි යුනිට් එකට. පරික්ෂණ පවත්වනවා. පරීක්ෂණ පවත්වලා හයි රිස්ක් කැටගරි එකට දාලා තියෙනවා පපුවෙ අමාරුවක් එන්න පුලුවන් කියලා. එන්න එන්න එක එක කම්ප්ලිකේෂන් එනවනේ දැන්. මෙයාගෙ ඇත්ත තත්වය දන්නේ ඇතුළේ ඉන්න ඩොක්ටර්ස්ලා. ඔක්කොම බලධාරීන් බලා ඉන්නේ සුරේස් මැරිලා යනකල්. ඔක්කොම බලාගෙන ඉන්නේ ඒක. එයා ඉල්ලන්නේ පරීක්ෂණ කරන්න නමුත් එයාව රිමාන්ඩ් එකට දාලා දෙන්න කියලා. එයා ෆාස්ටින් කරන්නෙත් ඒකනේ. එයා ලෝයර් ආවම බදාදා සුරේෂ් හෑන්ඩ්රයිටින්වලින්ම දන්වලා තිබුණා එයාලාට මොනවාහරි වුණොත් වගකියන්න ඕනෑ ජනාධිපති, රවී, ශානි වගේ අයගේ නම්.‘
කෙසේ වෙතත් අපගේ ඇතැම් විශ්වසනීය ආරංචිමාර්ග පවසන්නේ මනෝරි සලේ එලෙස පවසන මොහොත වන විට සුරේෂ් සලේව හෘදය රෝග ඒකකයට මාරු කර තිබුණේ නැති බව. ඔහුව හෘදය රෝග ඒකකයට ඇතුළත් කිරීමට පෙර 41 වැනි වාට්ටුවේ සිටියදීම මනෝරි සලේ මහත්මිය මාධ්‍යවලට මෙම ප්‍රකාශය සිදු කර ඇති බව එම ආරංචිමාර්ග පවසනවා. එමෙන්ම සුරේෂ් සලේව හෘදය රෝග පරීක්ෂණයකට යොමු කරවා තිබෙන්නේ පෝෂණවේදී වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීම මත බවද එම ආරංචිමාර්ග පවසනවා.
