නීතිඥ සංගමයෙන් නිවේදනයක්! උසාවියට බොරු කී වන්නිනායකට පියවර නැද්ද!

ශ්‍රී ලංකා නිතිඥ සංගමය වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක පෙනී සිටි බවට අප විසින් පළ කළ වාර්තාවට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙහි සඳහන් වන්නේ,  සාමාජිකයින්ට අදාළ මෙවැනි කාරණා සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ කාර්යභාරය නීතිඥවරයෙකුට අදාළ ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම සහ ඉදිරි පියවර සඳහා සංගමයට වාර්තා කිරීමට පමණක් සීමා වී ඇති බවයි.

මෙම ක්‍රියාමාර්ග අතරතුර තමන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥ සංගමයේ විධායක කමිටුව කිසිදු නීතිඥවරයෙකුට බලය පවරා නොමැති අතර එම නීතිඥවරයා වෙනුවෙන් කිසිදු නියෝජනයක් කිරීමට නීතිඥ සංගමය කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම නිවේදනයෙහි සඳහන් වනවා.

කෙසේවෙතත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ මහත්වරුන් අත්අඩංගුවට පත් වූ අවස්‍ථාවේ අධිකරණයේදී සිදු වූ කරුණු අපි කිසිදු අතිශයෝක්තියකින හෝ විකෘතියකින් තොරව වාර්තා කළෙමු.

එහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් ශ්‍රී ලංකා  නීතිඥ සංගමය නියෝජනය කරන බවට කරුණු දැක්වූ බවත්,  නීතිඥවරු වෙනුවෙන් විශේෂ සැලකීම් ඉල්ලා සිටි බවත් අප වාර්තා කළේ එම සිදු වූ කරුණු මත පදනම් කරගෙනය.

නීතිඥවරුන් යම් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටින බවට අධිකරණයෙහිදි කියූ පසූ එම පාර්ශවයන් විමසමින් අදාළ නීතිඥවරයා අවසර ඇතිව එම පෙනී සිටීම කළේදැයි අප කිසිවිටෙකත් විමසන්නේ නැත.   

අධිකරණයේ සිදුවන බව සත්‍ය බවට විශ්වාස කරමින් එය වාර්තා කිරීම අපගේ කාර්යභාර්යයි.

මෙම නඩුවට අදාළව එම කාර්යභාර්යය ඉටු කර ඇති අතර  අධිකරණයේදී නීතිඥ ගුණරත්න වන්නිනායක නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටින බව කියමින් අදහස් දක්වා තිබුණි.

නීතිඥ ගුණරත්න වන්නිනායක තමාගෙ අවසරයකින් තොරව තම සංවිධානය වෙනුවෙන් කරුණු දක්වා තිබෙන්නේනම් එයට අදාළව ඔහුට එරෙහිව පියවර ගත යුතු අතර අප විසින් පළ කළ මාධ්‍ය වාර්තා අසත්‍ය යැයි වක්‍රව හැඟවෙන පරිදි මාධ්‍ය නිවේදන නිකුත් කිරීම නීතිඥ සංගමයේ වෘත්තියභාවයට උචිත නොවේ.

කෙසේවෙතත් මීට පෙර නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් නීතිඥවරුන්ට විශේෂ සැලකිලි ඉල්ලා සිටිමින් අධිකරණයෙදි නීතිඥ සංගමය නියෝජනය කරන බවට පවසමින්  අප විසින් කළ කරුණු දැක්වීම පිළිබඳව අපගේ වාර්තාව සත්‍ය බව යළි තහවුරු කර සිටින්නෙමු.

Author

Related Posts