විනිශ්චයකාරවරුන් පත්කිරීමේ ජනාධිපතිවරයාගේ වගකීම පිළිබඳ විවාදයකට විපක්ෂයෙන් පූර්ණ යෝජනාවක්

උසස් අධිකරණවල පවතින පුරප්පාඩු සහ ඒවා පිරවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ රාජකාරිමය සහ ව්‍යවස්ථානුකූල කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලා කථානායකවරයාට පූර්ණ යෝජනාවක් බාරදීමට විපක්ෂය කටයුතු කරමින් සිටින අතර එම යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කරමින් පවතී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 83(1) යටතේ එම යෝජනාව ලබාදීමට නියමිත අතර එම ස්ථාවර නියෝගයේ සඳහන් වන්නේ ‘ජනාධිපතිවරයාගේ හෝ වැඩ බලන ජනාධිපතිවරයාගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ විනිශ්චයකාරවරයන්ගේ හෝ යුක්තිය පසඳලීමෙහි නියුක්ත අන් තැතැත්තන්ගේ පෞද්ගලික පැවැත්ම පූර්ණ යෝජනාවකින් හැර මතු කරනු නොලැබිය යුත්තේ ය.’ යනුවෙන්ය.
එම පූර්ණ යෝජනාවේ මෙසේ සඳහන් වේ.

(අ) ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන්, ඒවා ඇති වූ දිනයන්, ඒවා පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ දැනට පවතින ප්‍රමාදයට හේතු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.
(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව, 33(ඊ), 41(ආ) සහ 41(ඇ) යන ව්‍යවස්ථාවලට අනුකූලව අවශ්‍ය නාමයෝජනා වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කර පත්කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජනාධිපතිවරයා සහ රජය වෙත නිර්දේශ කරයි,
(ඇ) උසස් අධිකරණවල පවතින පුරප්පාඩු සහ ඒවා පිරවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ රාජකාරිමය සහ ව්‍යවස්ථානුකූල කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුව පූර්ණ විවාදයක් පැවැත්වීමට තීරණය කරයි.
(ඈ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටී.
(ඉ) අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසඳලීමේ කාර්යක්ෂමතාව ආරක්ෂා කිරීම සඳහා සුදුසු නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.
(ඊ) මෙම කරුණ සම්බන්ධයෙන් මාසයක කාලයක් තුළ ප්‍රගති වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading