සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය බවත්, ඊට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ අද (26) නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.
අල්ලස් චෝදනා මත ඊයේ (25) දින වනදා අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහට, මීට මාස දෙකකට පෙර ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙස ආරාධනා කළ බවට වරුණ රාජපක්ෂ චෝදනා කර තිබිණි.
එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමින් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ, පාතාල සබඳතා හා බැඳුණු මෙම අල්ලස් සිදුවීම හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබලයට හා බංකොලොත්භාවයට පත්ව ඇත්ද යන්න මෙම අසත්‍ය ප්‍රකාශයෙන් පැහැදිලි වන බවයි.
විවිධ වුවමනාකම් මත පසුබිම පිළිබඳව නොසලකා විවිධ පුද්ගලයින් තම පක්ෂවලට එකතු කර ගැනීමට වෙනත් දේශපාලන කණ්ඩායම්වලට අවශ්‍යතාවක් පැවතියද, අපරාධකරුවන් තම පක්ෂයට හෝ වත්මන් ආණ්ඩුවට එකතු කර ගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එමෙන්ම, මෙවැනි සාවද්‍ය ප්‍රකාශ සිදු කරමින් ඇතැමුන් උත්සාහ දරන්නේ අදාළ අපරාධමය සිදුවීම් වෙත යොමු විය යුතු සමාජ අවධානය වෙනත් අතකට හැරවීමට සහ අපරාධකරුවන් නිවැරදිකරුවන් කරමින් ඔවුන්ට සුදුහුණු ගෑමට වුවද, එම උත්සාහයන් මුළුමනින්ම නිෂ්ඵල වනු ඇති බවද ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.
අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් පක්ෂයට අවලාද නැගීමට සජබයේ ඇතැමුන් දරන මෙම නිවට උත්සාහය දැඩිව හෙළා දකින බව පවසන ජවිපෙ, මෙම මඩ ප්රචාරයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද අවධාරණය කර සිටියි.
නිවේදනය පහතින්,

