2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බැඳුම්කර වෙන්දේසියකදී සිදු වූ බව කියන වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජූලි මස 22 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (26) නියෝග කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අතර, මෙම නඩුව විභාග කිරීම සඳහා වන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ වන විට නිසි ලෙස ස්ථාපිත කර නොමැති බව එහිදී විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, විනිසුරු මඩුල්ලේ පවතින මෙම තාක්ෂණික ගැටලුව හේතුවෙන් නඩුවේ ඉදිරි කටයුතු ජූලි 22 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කර තිබේ.
2016 වසරේ මාර්තු මස සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූ බව කියන මූල්‍ය අවිධිමත්භාවයන් සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන අර්ජුන් ඇලෝසියස් හා ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 11 දෙනෙකු නම් කර සිටිති.
