පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල, ‘Barista Coffee Lanka Pvt Ltd (Barista Express)’ ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ 10 රුපියල් ලක්ෂ 4 ක දඩයක් නියම කරනු ලැබුවා.
ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි.
මෙහිදී අනාවරණය කරගත් බරපතළ වැරදි 4ක් සම්බන්ධයෙන් වන නඩුවක් යටතේ මෙලෙස අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
ඒ අනුව, ලේබලයේ කිසිදු තොරතුරක් (මිල, බර, නිෂ්පාදිත/කල් ඉකුත්වීමේ දිනයන්) නොමැතිව කේක් විකිණීම, ලේබල් තොරතුරු රහිතව බිස්කට් ඇසුරුම් විකිණීමට ඉදිරිපත් කර තිබීම, පාරිභෝගික නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ බිස්කට් ඇසුරුම් විකිණීමට තබා තිබීම, පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙනත් ආහාර පාන සැකසීම සඳහා සීතකරණ තුළ සහ ගබඩාවේ තබාගෙන සිටීම යන චෝදනා හතරම අධිකරණයේදී විත්තිකාර සමාගම විසින් වරද පිළිගනු ලැබූවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරන්නේ පාරිභෝගිකයින් සෑමවිටම ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත ස්ථානයකින් වුවද ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී එහි ලේබලය, මිල සහ කල් ඉකුත්වීමේ දිනය පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවයි.
මෙවැනි පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙසටද එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
