මෙරට සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් සීයට 45ක් කෘෂිකර්මයට යොදවා ඇතත්, ආහාරපානවලින් සීයට 60ක් ආනයනය කරමින් සිටින බවත්, 2022 දත්ත අනුව පවුල් මිලියන 3.5 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි.
මේ වන විට මෙරට රජය අනුගමනය කරමින් සිටින්නේද ආහාර පිළිබද පෙර ආණ්ඩු විසින් ක්‍රියාතත්මක කළ ප්‍රතිපත්තිම බවත්, ආණ්ඩුව විසින් නව පියවර අනුගමනය කළ යුතු බවත් එම වයාපාරය පෙන්වා දෙයි.
ඔක්තෝබර් 16, ලෝක ආහාර දිනය වන අතර, ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR) මේ බව සදහන් කර ඇත.
ලොව පුරා රාජ්‍යයන් අද දිනය සැමරීමට විවිධ ආකාරයේ ක්‍රියාකාරිත්වයන්වල නිරත වෙයි. එහෙත්, මේ මොහොත වන විටත් බිලියන 10 ක ජනතාවක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් තිබියදීත් මෙසේ සිදුවන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. ඔවුන්ගේ නිවේදනයේ පහත කරුණු වැඩිදුරටත් සදහන්ය.
- මිලියන ගණනක මිනිසුන් සාගින්නෙන්, මන්දපෝෂණයෙන්, දුප්පත්කමෙන්, දේශගුණික බලපෑම්වලින් සහ ණය බර දරාගත නොහැකිව මිය දෙමින් හෝ කුසගින්නේ සිටියි.
- ලෝක ආහාර දිනය සැමරීමකින් එහාට යථාර්ථයක් කිරීමට ගෝලීය බලවතුන්ට නොහැකි වී ඇත.
- දහස් ගණන් ගැමි ගොවීන්, ධීවරයන්, ආදිවාසීන්, කෘෂිකාර්මික කම්කරුවන් මෙන්ම පාරිභෝගිකයන් ද දිනා ගැනීමට තිබෙන අයිතීන් වෙනුවෙන් විරෝධය පාමින් විදි බැස ඇත.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් 1979 දී තම 20 වන සංවත්සර දිනයදා මෙම දිනය නම් කරන ලදී. නමුත් ගෙවී ගිය දශක ගණනාවක් පුරා ඔවුන් කර ඇත්තේ සැබෑ විසඳුම් සෙවීමට වඩා සමාගම් මුලිකව ගොඩනැගුණ ව්‍යාජ හා ඊනියා සැලසුම්වලට ඉදිරියට යාමට තිබෙන බාධාවන් ඉවත්කර ගැනීම වෙනුවෙන් පෙනී සිටීමයි.
ගෝලීය කෘෂිකර්මයේ සමාගම් ආධිපත්‍යය
අති බහුතරයක් ජනතාව බඩගින්නේ පෙළෙද්දී, සමාගම් සුළු ප්‍රමාණයකට දැවැන්ත වාසි ලබා දෙන විදිහට සැකසුනු ලෝක කෘෂිකර්ම හා ආහාර වෙළඳාම අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉඩ හදා දීමටයි මොවුන් කටයුතු කර ඇත්තේ.
- වර්තමානය වන විට ලෝකයේ සමස්ත බීජ හා කෘෂි රසායන වෙළඳාමෙන් 60% කටත් වඩා අයිතිය තියෙන්නේ ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් හතරකට යි.
- ලෝකයේ ගොවි ඉඩම් වලින් 70% කට ආසන්න ප්‍රමාණයකට අයිතිවාසිකම් කියන්නේ 1% ක් වූ විශාල ගොවිබිම් සහිත සමාගම් යි.
- ගොවීන්ට, ධීවරයින්ට සහ අනෙකුත් සුළු පරිමාණ නිෂ්පාදකයින්ට අයත්ව තිබූ ඉඩම්, බීජ, වෙරළ තීරයන් ඇතුළු, සම්පත් සමාගම්වල දැවැන්ත ලාභ උපයන තැන් බවට පත් වීමට ඉඩ සලස්වා ඇත.
- ඒ හේතුව නිසාම ලෝක ආහාර වෙළඳාම මිනිසුන්ට ආහාර ලබා දීම වෙනුවට සමාගම්වලට ලාභ උපයා දෙන ජාවාරමක් බවට පත් වීමට එරෙහි පියවරක් ගැනීමට නොහැකි වී ඇත.
- සමාගම් මුල් වී දැවැන්ත ව්‍යාපාරිකයින් විසින් සිදු කරන වන සංහාරය, ව්‍යාප්ත කරන රසායනික යෙදවුම් සහිත විනාශකාරි මහා පරිමාණ කෘෂිකර්මය, ආහාර සැලසුම්කරණය, ස්වභාවික සම්පත් විනාශ වීමට හා දේශගුණික විපර්යාස ඉහල යාමට සෘජුව වග කිව යුතුව ඇති බවට FAO සංවිධානයට ප්‍රකාශයක් කළ නොහැකි වී ඇත.
ලංකාවේ තත්ත්වය
ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම කෝවිඩ් ව්‍යායසනයත්, ආර්ථික අර්බුදයත් සමග රටක් ලෙස අප මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වූයේ ආහාර නිෂ්පාදනය මෙන්ම බෙදා හැරීම හා වෙළඳපල තුල ඇති වූ දැවැන්ත කඩා වැටීමත්, අධික ලෙස භාණ්ඩ මිල ඉහල යාමත් යි.
- මෙයට මුලික හේතුව වී ඇත්තේ සමස්ථ කෘෂිකර්මාන්තය ආනයනය මත පදනම් වීමයි. කෘෂි රසායන, පොහොර, කෘෂි උපකරණ, මෙන්ම බීජ වලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලැබීමත්, ආහාර පාන වලින් 60% ආනයනය කිරීමත් මෙයට හේතු වී ඇත.
- රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 45% කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවෙන, ජනගහනයෙන් 30% ක් කෘෂිකර්මය ආශ්‍රිත රැකියාවල නිරතවන, කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය සඳහා යෝග්‍යම පරිසර තත්වයන් හා ස්වාභාවික සම්පත්වලින් හෙබි ශ්‍රී ලංකාවේ ද:
- සාගින්න, මන්දපෝෂණය හා ගොවීන්ගේ දුප්පත්කම තාමත් ජයගත නොහැකි වූ අභියෝගක් බවට පත්ව තිබේ.
- 2022 දත්ත අනුව පවුල් මිලියන 3.5 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව වාර්තා වේ.
- වතුකර ජනතාවගෙන් 50% කට වඩා වැඩි පිරිසක් ආහාර අනාරක්ෂිත භාවයට පත්ව ඇත.
- කාන්තාවන්ගෙන් 30%ක් රක්ත හීනතාවයෙනුත්, අවුරුදු 5 ට අඩු ළමුන්ගෙන් 15% ක් අඩු බරිනුත් පීඩා විඳියි.
- මෙම තත්වයට හේතුව නිසි පරිදි පෝෂ්‍යදායී ආහාර නොලැබීමයි. ආහාර වලින් බොහොමයක් කෘෂි රසායන හා වස විස වලින් යුක්ත වන අතර , ලංකාව ලොව වැඩියෙන්ම කෘෂි රසායන භාවිතා කරන රටක් බවට පත් කර ඇත.
- ළමයින් ඇතුළුව රටේ ජනගහනයෙන් බහුතරයක් දියවැඩියාව වගේ බෝ නොවන රෝගවලට ගොදුරු බවට පත්ව සිටියි.
ප්‍රතිපත්තිමය වරද
- 70 දශකයෙන් පසුව සම්පූර්ණයෙන් ලංකාවේ අනුගමනය කලේ වැරැදි කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන ප්‍රතිපත්තියකි. එම ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් මේ දක්වා සිදුව නැත.
- රාජ්‍ය සතුව පැවැති ආහාර නිෂ්පාදනය, පාලනය, මෙහෙයවීම, තීරණ ගැනීමේ බලය ක්‍රමයෙන් වෙළෙඳපොළ මත තීරණය වීමට හැකි වන පරිදි ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කරන ලදී.
- ඉඩම්, බීජ, ජලය සම්බන්ධයෙන් ගොවීන්ට තිබු අයිතිය ඔවුන්ගෙන් උදුරා ගෙන ඇත. නිෂ්පාදන වියදම අධික වීමත් සමග ගොවිතැන පාඩු ලබන දෙයක් බවට පත්ව ඇත.
- වෙළඳපොළ තුල තම නිෂ්පාදන සම්බන්ධයෙන් තීරණ ගැනීමට කිසිදු ඉඩක් ලබා දී නොමැත.
- බීජ, ඉඩම්, ජලයෙහි පාලනය සම්පූර්ණයෙන් ජනතාවගෙන් ගිලිහී සමාගම් අතට පත්ව ඇත. රාජ්‍ය අනුග්‍රහය යටතේ කුමන ආකාරයේ වගාවක් ද, මොන බීජ හා පොහොර ද, නිෂ්පාදනය සඳහා මිල ද තීන්දු කරන්නේ සමාගම් විසිනි.
- කුඩා පරිමාණ ඉඩම් හිමි ගොවීන් සමාගම්වල අතකොලු බවට පත් වී ඇත.
- මහා පරිමාණ වගාවන්වලට වනාන්තර එළි කිරීම හේතුවෙන් වන සතුන්ගේ වාසස්ථාන හා ආහාර පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටීම නිසා වන සතුන් හා මිනිස් ගැටුම උච්ඡතම තත්වයකට පැමිණ ඇත.
- ධීවර ප්‍රජාවන්ට විශාල සංවර්ධන ක්‍රියාවලීන්, මහා පරිමාණ ධීවර කර්මාන්තය, ජල පද්ධතිය දූෂණයට ලක්වීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිකාව අහිමි කරමින් සිටී.
- කෘෂිකාර්මික කම්කරුවන්ට ඔවුන්ගේ ජීවන තත්වයන් ඉහල නැංවීමට හෝ අවම ලෙස ආහාරයට ඇති අයිතිය තහවුරු කිරීමට, ගෙවත්තක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉඩ ලබා දීමට ජනතා වතු මණ්ඩලය හා සමාගම් විසින් ඉඩමක අයිතිය ලබා දීමට නොහැකි වී ඇත.
නව රජයේ උපාය මාර්ගික යොමුව සහ විවේචනය
2024 බලයට පත් වූ නව රජය, ආහාර පිලිබඳ උපායමාර්ගික යොමුව ගොඩනගමින් ඇත්තේ ඵලදායිතාවය ඉහල නැංවීම, තරගකාරිත්වය වැඩි කිරීම, පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව වැඩිකිරීම හා කෘෂි පද්ධති නව්‍යකරණ කිරීම හරහා ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට හැකි වන පරිදි ප්‍රතිපත්ති වෙනස් කිරීමට හා අයවැය මගින් මුදල් වෙන් කිරීමටය.
- කෙසේ වෙතත්, මේවා සියල්ල පසුගිය දශක ගණනාවක් අත්හදා බැලූ ක්‍රමවේදයන් ය.
- ලෝකයේ තවදුරටත් මේ ක්‍රමවේදයන් තුල ආහාර නිෂ්පාදනයේ යෙදෙන්නන් ආරක්ෂා කිරීමට හෝ මන්දපෝෂණයෙන් පෙළෙන්නන් තුරන් කිරීමට හෝ නොහැකි බව ඔප්පු වී ඇත.
- ජනතාවාදී රජයන් හා සමාජ ව්‍යාපාර එක්ව ගෝලීය ආහාර දාමයේ ඒකාධිකාරිත්වය බිඳිමින් නව ගෝලීය ප්‍රවේශයන් වෙත ගමන් කරමින් සිටී.
MONLAR හි ඉල්ලීම්
MONLAR විසින් නව ආහාර පද්ධතියක් වෙනුවෙන් පහත කරුණු ඉල්ලා සිටී:
- ආහාර පද්ධතිය වෙනස් කිරීමට අවශ්‍ය නව දේශපාලනික ක්‍රියා මාර්ගයන් තේරීම අත්‍යාවශ්‍ය කරුණක් වන්නේය.
- මහ පොලොව සුවපත් කරමින්, සැමට ප්‍රවේශ විය හැකි ආහාර පද්ධතියක් සඳහා අවශ්‍ය වන ග්‍රාමීය වැඩපිළිවෙලක් ගොඩනැගීමට මැදිහත් විය යුතුය.
- ඒ සඳහා සහයෝගීතා ආර්ථික මොඩලයක් හරහා පරිසර පද්ධතීන් ආරක්ෂා කරමින්, සමූපකාර ගොඩනගමින්, ජනතාවට හිතකර මූල්‍ය ක්‍රම ගොඩනගමින්, ස්වභාදහමේ පූර්ණ ජනනීය හැකියාව ගොඩනගන ක්‍රියාදාමයක් ගොඩනැගීමට වහා මැදිහත් විය යුතුය.
- රටවල් 102 දායකත්වයෙන් ආහාර ස්වෛරීභාවය ගොඩනැගීම සඳහා 03 වන නියෙලෙනී ගෝලීය සමුළුවෙන් පසු ඉදිරිපත් කල නුවර ප්‍රකාශනය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
- ග්‍රාමීය ප්‍රදේශවල වැඩ කරන ගොවීන්ගේ සහ අනෙකුත් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය (UNDROP) අනුව සමස්ථ ආහාර පද්ධතිය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වෙනස් කිරීම් සිදු කිරීමට මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා සිටී.
