අවුරුදු කෑම මේසය ගණන් ගිය තරම!

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සම්ප්‍රදායික අවුරුදු “කැවිලි” මේසයක් පිළියෙල කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙන් දැරිය යුතු මුදල (පිරිවැය) 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී 7.0% කින් ඉහළ ගොස් ඇත.

මෙය වසංගතයට සහ ආර්ථික අර්බුදයට පෙර- 2019 වසරට සාපේක්ෂව 2.5 ගුණයක වැඩිවීමකි.

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනයපවත්වාගෙන යන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික විශ්ලේෂණ වේදිකාව වන PublicFinance.lk ප්‍රකාශයට පත් කරන වාර්ෂික “අවුරුදු” කැවිලි පිරිවැය විශ්ලේෂණයෙන් මෙම කරුණු අනාවරණය වී ඇත.

කැවිලි මේසයට ඇතුළත් කැවිලි වර්ග අටෙන් හයකම මිල ගණන් ඉහළ ගොස් තිබේ.

2026 වසරේ දක්නට ලැබෙන මෙම 7.0% ක පිරිවැය වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ පොල්තෙල් සහ සහල් පිටි මිල ඉහළ යාම යි. අවුරුදු කැවිලි මේසයේ සමස්ත පිරිවැය වැඩිවීමෙන් 80% කටම දායකත්වය ලබාදෙන්නේ එය යි.

අවුරුදු කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය රසකැවිලි වලින් යුක්ත වේ. නිවසින් නිවසට එහි වෙනස්කම් පැවතියද, සාමාන්‍යයෙන් කිරි බත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් අවුරුදු කැවිලි මේසයකට ඇතුළත් වේ.

පුද්ගලයන් 4-5 දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා අවුරුදු කැවිලි මේසයක් පිළියෙල කිරීමට, “අපේ අම්මා” (Ape Amma) යූටියුබ් නාලිකාවේ අවුරුදු කැවිලි වට්ටෝරු මත පදනම් වූ අමුද්‍රව්‍ය ප්‍රමාණයන් මෙම විශ්ලේෂණය සඳහා යොදාගෙන ඇත. මෙහිදී පිරිවැය ගණනය කර ඇත්තේ ප්‍රධාන අමුද්‍රව්‍ය සඳහා පමණක් වන අතර, උපයෝගිතා පිරිවැය (විදුලිය/ගෑස්) සහ කුළුබඩු වර්ගවල මිල මෙම ගණනය කිරීමට ඇතුළත් කර නොමැත.

මිල දත්ත ලබාගෙන ඇත්තේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙනි. ඒ අනුව 2019 (අප්‍රේල් 1 වන සතිය), 2025 (මාර්තු 3 වන සතිය) සහ 2026 (මාර්තු 4 වන සතිය) යන කාලපරිච්ඡේදවල කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළඳපලෙ හි සතිපතා සාමාන්‍ය සිල්ලර මිල ගණන් මේ සඳහා පදනම් කරගෙන ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading