හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ, බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වුල්හැම්ප්ටන් උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වීමට රජයේ මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහි ප්‍රමාණවත් සාක්ෂි පවතින බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය දැනුම් දෙනු ලැබුවා.
ඒ රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී අද (29) යළි කැඳවූ අවස්ථාවේ දී යි.
කෙසේ නමුත්, පැහැදිලි සාක්ෂි තිබියදීත් සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම මෙතරම් ප්‍රමාද වන්නේ ඇයි ද යනුවෙන් මහෙස්ත්‍රාත්වරයා එහි දී නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබූ අතර, පවතින විමර්ශන කඩිනමින් අවසන් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීමට ද කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයට එරෙහිව එල්ල වී ඇති මෙම රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ පැමිණිල්ලට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය ලබන ජූලි මස 08 වනදා අධිකරණයට කරුණූ වාර්තා කරන ලෙස මසේහ්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.
එහි දී, එළඹෙන ජූලි මස 08 වන දිනට ප්‍රථමයෙන් සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවත්, මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සැකකාරියක ලෙස නම් කරන්නේ ද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් පවතින බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දක්වමින් සඳහන් කරනු ලැබුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, නඩුව ලබන ජූලි මස 08 වනදා දක්වා කල් තැබීමට නියෝග කරනු ලැබුවා.
