නිර්දෝෂී නම් ශක්තිමත්ව සටන් කරන්න! ඔයා අපව හිරේ දැම්මාම අපි කළේ ඒක! හෙජාස් සලේට කියයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස 22කට ආසන්න කාලයක් සිරගත කර සිටි ප්‍රකට මානව හිමිකම් නීතිඥ හෙජාස් හිස්බුල්ලා මහතා, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේට ශක්තිමත් වෙන්නැයි උපදෙස් දෙමින් සිය X ගිණුමේ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබේ.

“ඔහු නිවැරදි නම්, සලේ ශක්තිමත්ව සිට තම නඩුව වෙනුවෙන් සටන් කළ යුතුයි. අපි කළේ එයයි. අපි යාඥා කළා, ව්‍යායාම කළා, කියෙව්වා, අපේ නීතිඥයින් හමුවුණා වගේම අපේ නඩු වෙනුවෙන් සටන් කළා. අපව රඳවාගෙන සිටි සලේ, ඔහුට දැන් පවතින තත්ත්වයට වඩා අප සිටි තත්ත්වය නරක බව හොඳින්ම දන්නවා.” (මෙම පණිවිඩය #EasterSundayattacks යන හැෂ් ටැගය ද සහිතව පළ කර ඇත).

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කරමින් 2020 අප්‍රේල් මස 14 වන දින හෙජාස් හිස්බුල්ලා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සඳහා ප්‍රධාන වශයෙන් පදනම් වී තිබුණේ එකල රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කරන ලද ලිපියකි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස එවකට කටයුතු කළේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේය.

නිසි සාක්ෂි හෝ නඩු විභාගයකින් තොරව මාස 22කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ හිස්බුල්ලා මහතා, දෙස් විදෙස් මානව හිමිකම් සංවිධානවල දැඩි මැදිහත්වීම සහ දීර්ඝ නීතිමය සටනකින් අනතුරුව 2022 පෙබරවාරි මාසයේදී ඇප මත නිදහස් විය.‍

2020 දී හිස්බුල්ලාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීමට මැදිහත් වූ හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේව මේ වන විට එම ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේම අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටී.

තමන් කටුක සිර මැදිරියක ගෙවා දැමූ දුෂ්කර කාලය සිහිපත් කරමින්, එදා තමන්ව ඒ තත්ත්වයට පත් කළ පුද්ගලයා අද එම ඉරණමටම මුහුණ දී සිටින විට “නීතිය හමුවේ පලා නොගොස් ශක්තිමත්ව සටන් කරන්නැයි” හිස්බුල්ලා මහතා මෙම පණිවිඩය හරහා ඔහුට කියා සිටියි.

Author

Related Posts