එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන්හි මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ජීවන වියදම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අප්‍රේල් මාසයට අදාළව නිකුත් කරන ලද නවතම නිල දරිද්‍රතා රේඛා දත්ත වාර්තාවලට අනුව, ශ්‍රී ලාංකිකයෙකුට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 17,117 ක මුදලක් අවශ්‍ය වේ.
පුද්ගලයෙකුට ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් මාසිකව වැය කිරීමට සිදුවන අවම පිරිවැය නිරූපණය කරන ජාතික නිල දරිද්‍රතා රේඛාව, පසුගිය මාර්තු මාසයේදී වාර්තා වූයේ රුපියල් 16,690 ක් ලෙසිනි. ඒ අනුව අප්‍රේල් මාසය වන විට එය රුපියල් 427 ක වර්ධනයක් පෙන්වමින් රුපියල් 17,117 සීමාව දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, 2025 වසරේ අප්‍රේල් මාසයේ පැවති රුපියල් 16,342 ක අගයට සාපේක්ෂව බලන කල, වසරක් ඇතුළත මෙම අවම වියදම රුපියල් 775 කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
පසුගිය දශකය දෙස හැරී බැලීමේදී මෙරට ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය කෙතරම් දැඩි දැයි මනාව පැහැදිලි වේ. 2012/13 කාලවකවානුවේදී පුද්ගලයෙකුට තම අවම ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වූයේ රුපියල් 5,223 ක් පමණි. 2019 වසර වන විට එය රුපියල් 6,966 දක්වා සෙමින් ඉහළ ගියද, පසුගිය වසර කිහිපය තුළ පැවති දැඩි උද්ධමනය සහ ආර්ථික අභියෝග හමුවේ අද වන විට එම පිරිවැය තුන් ගුණයකටත් වඩා වැඩි වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී නාගරික සහ අධික ජනගහනයක් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට ජීවත් වීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුව ඇත. ඒ අනුව, දිවයිනේ ඉහළම ජීවන වියදම වාර්තා වන කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව මාර්තු මාසයේ පැවති රුපියල් 18,000 සීමාවේ සිට අප්‍රේල් මාසයේදී රුපියල් 18,461 දක්වා ඉහළ ගොස් තිබේ.
මීට සමගාමීව සෙසු දිස්ත්‍රික්කයන්හිද පැහැදිලි මිල ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ අගය රුපියල් 17,908 සිට රුපියල් 18,367 දක්වාත්, කළුතර දිස්ත්‍රික්කයේ අගය රුපියල් 17,520 සිට රුපියල් 17,968 දක්වාත් ඉහළ ගොස් ඇත. එමෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයද රුපියල් 18,000 සීමාව සලකුණු කරමින් මාර්තු මාසයේ පැවති රුපියල් 17,551 ක අගයේ සිට අප්‍රේල් මාසය වන විට රුපියල් 18,001 දක්වා කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ.
මේ අතර, සාපේක්ෂව අඩු ජීවන වියදමක් පවතින දිස්ත්‍රික්කවලද මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණි. දිවයිනේ අවම දරිද්‍රතා සීමාව වාර්තා වන මොනරාගල දිස්ත්‍රික්කයේ පදිංචි අයෙකුටද සිය මූලික අවශ්‍යතා සඳහා මාසිකව රුපියල් 16,367 ක් අවශ්‍ය වන අතර, එය මාර්තු මාසයේ පැවතියේ රුපියල් 15,958 ක් ලෙසිනි. මීට අමතරව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අගය රුපියල් 16,537 දක්වාද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගය රුපියල් 16,631 දක්වාද අප්‍රේල් මාසයේදී ඉහළ ගොස් ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම නවතම දත්ත මඟින් පැහැදිලි වන්නේ මෙරට සාමාන්‍ය පවුල් මුහුණ දෙන දෛනික ජීවන අරගලය දිනෙන් දින වඩ වඩාත් සංකීර්ණ වෙමින් පවතින බවයි.
