15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතල ලිංගික අපයෝජනයට සහ ස්ත්‍රී දූෂණයට ලක් කළේ යැයි චෝදනා ලබා සිටින පල්ලේගම හේමරතන හිමියන් දැරූ ‘නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක’ පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශවය තීරණය කර තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක 15 හැවිරිදි දැරියක් ඇයගේ මවගේද අනුදැනුම මත මුදලට හුවමාරු කරමින්, කාලයක් තිස්සේ බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වන විට පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතී.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) ඍජුව මැදිහත් වී පවරා ඇති මෙම නඩුවට අදාළව, වින්දිත දැරියගේ වෛද්‍ය වාර්තා, දුරකථන සංවාද සටහන් සහ අපරාධය සිදුවූ ස්ථානය හඳුනාගැනීම වැනි ප්‍රබල සාක්ෂි මත සැකකාර හිමිනම දැඩි සමාජ දෝෂාරෝපණයකට මෙන්ම නීතිමය ක්‍රියාදාමයකට ලක්ව සිටී.
මෙම බරපතල චෝදනාවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ මල්වතු මහා විහාරයේ ගරුතර කාරක මහාසංඝ සභාව අදාළ පාර්ශවයන් කැඳවා කරුණු විමර්ශනය කර ඇත.
ඒ අනුව, 2026 මැයි 30 වන දින රැස්වූ කාරක මහාසංඝ සභාව විසින් තීරණය කර ඇත්තේ, මෙම චෝදනාවලට අදාළ පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක්, උන්වහන්සේ වෙත පවරා තිබූ ‘නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක’ පදවිය අත්හිටුවීමටයි.
එසේම, මෙම තත්වය මත ගරුතර කාරක මහාසංඝ සභාවේ නියමය පරිදි අටමස්ථාන කමිටුව විසින් නව තීරණයක් ගෙන ඇත. ඒ අනුව, අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මැද දිසාවේ ප්‍රධාන සංඝනායක සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්ථවිරයන් වහන්සේව තාවකාලිකව පත් කර තිබේ.
මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්හ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි, මල්වතු විහාරයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නායක ස්ථවිරයන් වහන්සේගේ අත්සනින් යුතුව මෙම නිල මාධ්‍ය නිවේදනය අද දින නිකුත් කර ඇත.

Heading – ඥාණතිලක වැරදියි. නිවැරැදි වචනය ඤාණතිලක හෝ ඥානතිලක හෝ වේ.