පිළිතුරු පත්‍ර හා ලකුණු දුන් ආකාරය විභාග අපේක්ෂකයින්ට දැනගත හැකියි… අභියාචනාධිකරණය තොරතුරු කොමිසමේ තීන්දුව අනුමත කරයි…

ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් නීති පරීක්ෂණය සඳහා පෙනී සිටි ශිෂ්‍යාවකගේ පිළිතුරු පත්‍රයේ හා ලකුණුවල සහතික පිටපත් ලබාදෙන ලෙසට කරන ලද නියෝගයක් අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණය නිශ්ප්‍රභ කර ඇත.

ආර් ගුරුසිංහ හා සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අභියාචනාධිකරණ විනිසුරුවන් විසින් ඒ සම්බන්ධයෙන් වන නියෝගය මැයි 08 වැනිදා ලබාදී ඇති අතර ඒ සිය දියණිය වන ආර්ඒඩී ශෂීන්ද්‍රයා රණසිංහ වෙනුවෙන් ඇයගේ පියා වන ආර්ඒ ජානක රොෂාන් රණසිංහ ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ලබාදුන් තීන්දුවක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන අයදුම්පතක තීන්දු ප්‍රකාශයට පත්කරමින්ය.

ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද තොරතුරු ඉල්ලීම විවෘත විශ්වවිද්‍යාලයේ තොරතුරු නිලධාරියා හා නම්කළ නිලධාරියා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පනතේ 5(1) (2) යටතේ ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ තොරතුරු හෙළිදරව් කිරීම ‘විභාග දෙපාර්තමේන්තුව හෝ උසස් අධ්‍යාපන ආයතනයක් විසින් පවත්වනු ලබන යම් විභාගයකට අදාළ තොරතුරු රහසිගතව තබා ගැනීමට නියමිත වන්නාවූ අවස්ථාවකදී’ එම පනතේ වගන්තිය යටතේ ඒ තොරතුරුවලට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකිය යන ප්‍රතිපාදනය යටතේය.

එම විස්තර හෙළිදරව් කිරීම විභාග ක්‍රියාවලියේ අඛණ්ඩතාව සහ රහස්‍යභාවයට හානිකර එකක් බවට හා එම විස්තර හෙළිකිරීම හානිකර නීතිමය පූර්වාදර්ශයක් බවට ද විශ්වවිද්‍යාලය පාර්ශවයෙන් තර්ක ඉදිරිපත් කර තිබේ.

එහෙත් එම කරුණු ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් කරන්නේ එසේ ඉල්ලා සිටින තොරතුරු රහස්‍ය ඒවා නොවන බවත්, විභාග අපේක්ෂකයකු තමන්ගේම පිළිතුරු පත්‍රය හා එය ලකුණු කළ ආකාරය ඉල්ලා සිටියහොත් එය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු හේතුවක් නොපෙනෙන බවත්ය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading