කපිල සිය දිවි නසාගෙනලු….

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලදී එය සියදිවි නසාගැනීමක් බවට අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.

උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති පරිදි, ඔහුගේ මළ සිරුර හමුවූ කාමරයේ බිත්ති, ගෙල සිරවී තිබූ ව්‍යායාම සඳහා භාවිතා කරන පටිය මෙන්ම ඒ අවට තිබූ අනෙකුත් චංචල දේපළවල තිබී හමුවූ ඇඟිලි සලකුණු ද කපිල චන්ද්‍රසේන මහතාගේම බවට මේ වන විට විද්‍යාත්මකව තහවුරු වී ඇති බවත්, මෙම සාක්ෂි මත පදනම්ව, මරණය සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ වෙනත් අයෙකු සිටි බවට සැකකළ හැකි සාධක කිසිවක් මෙතෙක් හමුවී නොමැති බව විමර්ශන කණ්ඩායම් වැඩිදුරටත් පෙන්වා දෙන බවත් අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

පෙරේදා (09 පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අදාළ මරණය ගෙල වැළලා ගැනීමක් නිසා සිදුවූවක්ද නැතහොත් කිසියම් විෂක් ශරීරගත වීමෙන් සිදුවූවක්ද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා පංච පුද්ගල අධිකරණ විශේෂඥ වෛද්‍ය මඩුල්ල පියවර ගෙන ඇත. ඒ අනුව, වැඩිදුර විද්‍යාත්මක සහ රසායනාගාර විශ්ලේෂණ කටයුතු වෙනුවෙන් එම පුද්ගලයාගේ රුධිරය, මුත්‍රා, පටක, ශරීර අවයව සහ නියපොතු වැනි කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම එයාර් බස් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් දින 54ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා, පසුගිය 05 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබීය.

කෙසේ වෙතත්, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන් දෙදෙනා මුදලට ලබාගත් අය බවටත්, එමගින් ඇප කොන්දේසි උල්ලංඝනය වී ඇති බවටත් අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අධිකරණය, පසුව ඔහුගේ ඇප අවලංගු කර නඩුව අවසන් වන තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඒ අනුව ඔහුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටත් 07 වැනිදා නියෝග කළේය.

එවැනි පසුබිමක, බාන්ස් පෙදෙසේ පදිංචිකරුවකු වූ ඒ මහතාගේ සිරුර ඊට පසුදා උදෑසන හමුවූයේ කොල්ලුපිටිය පේද්‍රිස් පාරේ පිහිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ (ඔහුගේ බිරිඳගේ නිවුන් සහෝදරියගේ) නිවසේ කාමරයක් තුළ තිබියදීය.

මෙම මරණය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මූලික විමර්ශන සිදු කළ අතර, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ නියෝග මත වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇත. කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂාව සිදු කිරීමෙන් අනතුරුව, පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මඬුල්ලක් මගින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මළ සිරුර කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සහෝදරියට භාර දෙන ලෙස නියෝග කර ඇත.

ඒ අනුව, කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්නගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය කමිටුව රජයේ රස පරීක්ෂකවරයාගේ ද සහභාගීත්වයෙන් පැය හයක පමණ කාලයක් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර, මරණයට නිශ්චිත හේතුව ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළ බව අරුණ පුවත්පත වාර්තා කරයි.

පොලිස් විමර්ශනවලට අනුව, අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පසු වූ කපිල චන්ද්‍රසේන මහතා පසුගිය 07 වැනිදා පස්වරුවේ බාන්ස් පෙදෙසේ පිහිටි සිය නිවසින් ත්‍රිරෝද රථයකින් කොල්ලුපිටියේ පිහිටි තම බිරිඳගේ සහෝදරියගේ නිවසට ගොස් ඇත. එදිනම තම සේවිකාවට දුරකථනයෙන් අමතා ඇඳුම් සහ ආහාර සූදානම් කර තබන ලෙස දැනුම් දී ඇති ඔහු, එදින රාත්‍රිය කොල්ලුපිටිය නිවසේ ගත කර ඇත්තේ පසුදින නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමේ අරමුණ ඇතිවය. එම අවස්ථාවේදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ද එහි සිට ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, පසුදින උදෑසන ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් නීතිඥවරයෙකු පැමිණ නිවැසියන් සමඟ අමතර යතුරකින් කාමරය විවෘත කර බැලීමේදී ඔහුගේ මළ සිරුර හමු වී තිබේ. මරණය සිදුවූ දින උදෑසන ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචි තම බිරිඳට දුරකථන ඇමතුම් තුනක් ලබා දී ඇති බවත්, පවුලේ සාමාජිකයන්ගෙන් වෙන්ව සිටීම සහ නීතිමය ගැටලු හමුවේ ඔහු දැඩි කළකිරීමකින් පසු වූ බවත් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading