අන්තර්ජාලය හරහා මූල්‍ය අපරාධ සිදු කරමින් මෙරට රැඳී සිටි විදේශිකයන් දහනවයක් රක්ෂිත බන්ධනාගාරයට !

පරිගණක හා ජංගම දුරකතන යොදා ගෙන අන්තර්ජාලය හරහා මූල්‍ය අපරාධ සිදු කරමින් මෙරට රැඳී සිටි පේරු හා චීන ජාතිකයන් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක නියෝග කරනු ලැබුවා.

කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙම පිරිස කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටිය දී අත්අඩංගුවට පත්ව තිබුණා.

මෙම සැකකරුවන් සන්තකයේ මෙරට රැඳී සිටීමට වලංගු ගුවන් ගමන් විදේශ බලපත්‍රයක් හෝ වලංගු වීසා බල පත්‍රයක් නොමැති බව මූලික විමර්ශනවල දී හෙළි වූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.

තව ද ඇපල් වර්ගයේ ජංගම දුරකතන 399 ක්, ලැප්ටොප් පරිගණක 14 ක්, ඩෙස්ක්ටොප් පරිගණක 02 ක්, මුදල් රුපියල් 473,870 ක් සහ තීරු බදු රහිත දුම්වැටි 600ක් ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටිනු ලැබුවා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධීකරණය සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, වැඩි දුර විමර්ශන සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද නියෝග කරනු ලැබුවා.

මෙම සැකකරුවන් වයස අවුරුදු 25 හා 37 අතර පසුවන පේරු හා චීන ජාතික පිරිසක් බවයි වාර්තා වූයේ.

ඡායාරූපය – රුක්මාල් ගමගේ

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading