දළඳා පෙරහැරට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බව පැවසූ ගම්මන්පිල අද ත්‍රස්ත විමර්ශන ඒකකයට!

පිවිතුරු හෙළ උරුමයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) පෙරවරුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (TID) හමුවට කැඳවා තිබේ. ඒ, මෑතකදී ඔහු විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය.

මහනුවර ඓතිහාසික ඇසළ දළඳා පෙරහැර ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට ගම්මන්පිලපසුගියදා අනාවරණය කර තිබිණි. ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන මෙවැනි සංවේදී ප්‍රකාශයක් සිදු කිරීමට පදනම් වූ කරුණු සහ ඔහු සතු තොරතුරු මොනවාද යන්න විමර්ශනය කිරීම මෙම කැඳවීමේ ප්‍රධාන අරමුණ බව වාර්තා වේ.

පසුගිය මාර්තු 31 වනදා උදය ගම්මන්පිල මහතා විසින් “පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම” නමින් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් එළිදක්වන ලදී. එම අවස්ථාවේදී සහ ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවලදී ඔහු අවධාරණය කළේ 2019 පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව තවමත් හෙළි නොවූ කරුණු පවතින බවයි.

කෙසේ වෙතත්, මෙම කැඳවීමට හේතු වී ඇත්තේ එම පොතේ අන්තර්ගතයට වඩා, ඔහු විසින් මෑතකදී මහනුවරදී සිදු කළ ප්‍රකාශයකි. එහිදී ඔහු පවසා ඇත්තේ පුනරුත්තාපනය නොවූ මරාගෙන මැරෙන්න වුවද සූදානම් 300 ක් පමණ සමාජයේ සැරි සරණ අතර, පාස්කු ප්‍රහාරය වැනිම තවත් ප්‍රහාරයක් එල්ල වීමේ සූදානමක් පවතින බවත්, විශේෂයෙන්ම දළඳා පෙරහැර වැනි ජාතික උත්සව මෙහි ඉලක්ක විය හැකි බවත්ය.

එහිදී ඔහු පවසා සිටියේ “දළඳා පෙරහරට ප්‍රහාරයක් එල්ල කල යුතුයි කියල ඔලුව හදපු 300 ගණනක් පුනරුත්තාපනය කරන් නැතුව, අත්අඩංගුවට ගන් නැතුව අදටත් සමාජයේ නිදැල්ලේ හැසිරෙන නිසා මේ වසරේ දළඳා පෙරහැරට වුනත් එවැනි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තියෙනවා…” යනුවෙනි.

නුවර ඓතිහාසික දළදා පෙරහැර ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට උදය ගම්මන්පිල සිදු කළ මෙම ප්‍රකාශය ජාතික ආරක්ෂාව පිළිබඳ අතිශය බරපතළ සංවාදයක් මතු කර තිබේ.

අන්තවාදී පුහුණුව ලැබූ 300කට අධික පිරිසක් සමාජය තුළ නිදැල්ලේ සැරිසරන බවට ඔහු කරන අනාවරණය සමාජයීය භීතියක් ඇති කිරීමට හේතුවන අතරම, පාස්කු පරීක්ෂණ නැවත ආරම්භ වී ක්‍රියාත්මක වෙද්දී සැරින් සැරේ මාධ්‍ය හමු පවත්වමින් සහ පොත් ලියමින් ගම්මන්පිල සිදු කරන අධික්‍රියාකාරීත්වය සැක සහිතය. මක් නිසාද ගම්මන්පිල ඇතුළු කල්ලි වලට බලය තිබියදී මේ පිළිබඳව නොදැක්වූ උනන්දුවක් දැන් පහළ වී තිබීම විහිලු සහගතය.

විශේෂයෙන්ම 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් හරහා මෙම අන්තවාදී පුහුණු කඳවුරු සහ පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළි වී තිබියදීත්, ගම්මන්පිල ඇමති ධුරයක් දැරූ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ හෝ ඉන් පසුව පැමිණි රනිල් වික්‍රමසිංහ රජය යටතේ ඔවුන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම මොහු පිළිබඳව තේරුම් ගැනීමට ඉතා වැදගත්ය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading