විදුලි ගාස්තු 18%කින් ඉහළට – ආණ්ඩුවෙන් අමුතු සහනයක්, නව ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි…

ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් ඒකක 180කට වඩා පරිභෝජනය කරන පිරිස සඳහා බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ. මෙම නව ගාස්තු සංශෝධනය අද (මැයි 11) සිට ක්‍රියාත්මක වේ.

නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, මෙම ගාස්තු වැඩිවීම මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 95%කටම බලපෑමක් නොවන බවයි.

කෙසේ වුවද රජය විසින් රුපියල් බිලියන 15ක සැලකිය යුතු සහනාධාරයක් ලබා දීමට එකඟ වීමත් සමඟ, මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් පාරිභෝගිකයන් විශාල පිරිසකට සහනයක් සැලසෙන බව රජය පවසයි. ඒ අනුව, මාසිකව විදුලි ඒකක 0 සිට 180 දක්වා පරිභෝජනය කරනු ලබන සියලුම ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු ඉහළ නොයන අතර ඔවුන්ගේ බිල්පත්වල කිසිදු වෙනසක් සිදු නොවේ. මෙම තීරණය හේතුවෙන් මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 95ක් වැනි අතිමහත් බහුතරයක් ගාස්තු වැඩිවීමේ බලපෑමෙන් තොරව මෙම සහනය යටතට ඇතුළත් වීම සුවිශේෂී කරුණකි.

ආණ්ඩුව පවසන සහනය

ආණ්ඩුව සහ මහජන උපයෝගිතා කොමිසම මෙය සහනයක් ලෙස හඳුන්වන්නේ, පිරිවැය ඉහළ යාම හමුවේ සිදු විය හැකිව තිබූ තවත් ගාස්තු වැඩිවීමකින් ජනතාව ආරක්ෂා කළ බව පවසමිනුයි.

නමුත් ආණ්ඩුව පවසන මේ සහනය යන්න විකාර කතාවකි. විදුලි මිල වැඩි විය හැකිව තිබූ ප්‍රමාණය රජය දැරීම සහනයක් ලෙස ඔවුන් අර්ථකථනය කරනවා. විදුලි බිල සම්බන්ධව ජනතාවට සහන සැලසීම යනු දැනට පවතින මිල අඩු කිරීම මිස පවතින මිලම පවත්වාගෙන යාම නොවේ.

දැනටමත් පවතින අධික විදුලි බිල ජනතාවට දැරිය නොහැකි මට්ටමකට පත්ව ඇති පසුබිමක, රජය පවසන මෙම “සහනය” පාරිභෝගිකයාට ප්‍රායෝගිකව කිසිදු සහනයක් ලබා නොදෙන වචන හරඹයක් පමණක් බව පැහැදිලියි. ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක, සැබෑ සහනයක් වනුයේ දැනට පවතින බිල අඩු කිරීම මිස, පවතින අධික ගාස්තුවම පවත්වාගෙන යමින් වැඩි නොකළා යැයි පැවසීම නොවේ. මේ නිසා, පිරිවැය ඉහළ යාමේ බරින් කොටසක් රජය දැරුවද, එය පාරිභෝගිකයාගේ මාසික වියදම් බර අඩු කිරීමට දායක නොවන බව පැහැදිළිය.

රුපියල් බිලියන 15ක සහනාධාරය

මෙම රුපියල් බිලියන 15ක සහනාධාරය යනු ඇත්ත වශයෙන්ම රජයේ පෞද්ගලික ධනයක් නොව, මහජනතාව විසින්ම ගෙවන ලද වක්‍ර සහ සෘජු බදු මුදල් ප්‍රතිපූරණය කිරීමකි.

ජනතාවගෙන් ලබාගත් බදු මුදල් යොදවා දැනටමත් පවතින ඉහළ මිල මට්ටම් ඒ අයුරින්ම පවත්වාගෙන යාමට උත්සාහ කිරීම මිස, පීඩාවට පත් පාරිභෝගිකයාගේ බිල්පත් ගාස්තු අඩු කිරීමට පියවර නොගැනීම ගැටලුවකි. සැබෑ සහනාධාරයක අරමුණ විය යුත්තේ ජනතාව මත පැටවී ඇති ආර්ථික බර ලිහිල් කිරීම වුවද, මෙහිදී සිදුව ඇත්තේ ජනතාවගේම මුදල් යොදවා නඩත්තු කිරීම පමණක් බව පෙනී යයි.

Author

1 Comment

  • True support will only appear when the economy is strengthened. You seem to disregard the global changes + issue with supply of low quality coal which led to the current soaring prices.
    Choosing words appropriately is very important for work in your occupation. Otherwise wrong message is delivered.
    All the best.

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading