මියා සී අශේන් එක්ක කියපු දේවල් සහ ඒවායේ සැබෑම තේරුම!

මියා සී (Mia Z) හෙවත් සාෂා ප්‍රසාද් නම් වූ ජාත්‍යන්තර වැඩිහිටි විනෝදාස්වාද ශිල්පිනියගේ (Adult Entertainment Star) ශ්‍රී ලංකා සංචාරය සහ දිනෙල් වල්පොල වැනි දේශීය ටික්ටොක් නිර්මාණකරුවන් සමග ඇය කළ වීඩියෝ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.

ඇය මෑතකදී අශේන් සේනාරත්න සමග පැවැත්වූ පොඩ්කාස්ට් සාකච්ඡාවේදී ප්‍රකාශ කළ විනෝදය පිණිස නැරඹීමට හැකිය. එහෙත්, ඇය කී දේවල්වල ගොසිප් කොටසට එහා ගිය බොහෝ දේවල් තේරුම් ගැනීමට තිබේ. මේ සටහනේ අපේක්ෂාව ඒවා සොයා යෑමය.

ශ්‍රී ලංකාව, සංස්කෘතික බැඳීම සහ ඩිජිටල් මාකටිං

මියා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පෙන්වන්නේ දැඩි භාවාත්මක බැඳීමකි. නමුත් ඒ හරහා දේශීය ප්‍රේක්ෂකාගාරය ග්‍රහණය කරගැනීමේ මනා අවබෝධයක්ද ඇයට ඇත. එහෙත්, ඇගේ සැබෑ අපේක්ෂාව විය යුත්තේ ශ්‍රී ලංකාවේ සිටින ඕඩියන්ස් එක අල්ලාගැනීමය. ඒ අතරින් හැකි තරම් පිරිසක් සිය ඔන්ලිෆෑන්ස් ගිණුමට ගෙන්වා ගැනීමය. ලංකාවේ දැනටමත් ජනප්‍රිය නිර්මාණකරුවන් සමග ඔහු වැඩ කරන්නේ ඒ අපේක්ෂාවෙනි.

“මම ලංකාවට අවුරුදු දෙකකට කලින් කලින් පෙම්වතා එක්ක ආවා. ලංකාවේ ඇවිද්දා. ඊට පස්සේ මට ආයෙ එන්න ඕනෙ වුණා. මම ආපු වෙලාවේ ලංකාව එක්ක ආදරෙන් බැදුණා. මට ගෙදර වගේ දැනෙනවා. මම කැමති මිනිස්සු. මම ආස සංස්කෘතියක්. අකමැති වෙන්න කිසිදෙයක් නෑ… මම හින්දු. සමානකම් තියෙවනවා. මම බෞද්ධ පන්සල්වලට ගිහින් තියෙනවා… මම හැමවෙලාවෙම කියනවා මම හින්දු නොවුනා නම් බෞද්ධ වෙන්න තිබුණා. මම බෞද්ධ දර්ශනයේ සමහර දේවල්වලට කැමතියි.”

“මම හරිම තරුණයි… මගේ අම්මා ෆීජීවල. මගේ තාත්තා ගැන ආන්දෝලනයක් තියෙනවා. සමහරවිට මගේ තාත්තා ශ්‍රී ලංකන් වෙන්න පුලුවන්… මගේ පෙනුම ශ්‍රී ලංකන් වගේ කියලා සමහරු කියනවා. සමහරවිට මගේ තාත්තා ලංකන් වෙන්න ඇති.”

මෙහිදී මියා ලාංකීය සංස්කෘතියට සහ දර්ශනයට දක්වන ගරු කරන බව කියන්නීය. ගෝලීය ක්‍රියේටර්ස්ලා (Global Creators) යම් රටකට ගිය විට එම රටේ ජනතාවගේ හැඟීම් ස්පර්ශ කිරීම ඉතා සාමාන්‍ය උපක්‍රමයකි. ඇය තමාට ලාංකීය සම්භවයක් තිබිය හැකි බවට ඉගි කිරීම, දේශීය ප්‍රේක්ෂකයන් තුළ ඇය කෙරෙහි කුතුහලයක් සහ සමීප බවක් ඇති කිරීමට හේතු වේ. ඇය ඉතාම නිර්මාණශීලී ලෙස ලංකාවේ සමාජ කතිකාව ඇතුළට රිංගයි. ලංකාවේ මාතෘකාවක් බවට ඇය පත්වෙයි.

“මම දන්නෑ මට විරුද්ධව සමාජ මාධ්‍ය කැම්පේන් තියෙනවා කියලා. මම ශ්‍රී ලංකාවට එරෙහිව යන්නේ නෑ. මම මෙහේදී ගොඩක් මුදල් වියදම් කරනවා. මම දිනෙල් වල්පොල එක්ක එකතුවෙලා වීඩියෝ කළා… කෑගහලා කුණාටූ කියලා දේවල් කළා. වයිරල් ට්‍රෙන්ඩ්ස්. මම මගේ ෆලෝවර්ස්ලාගෙන් ඇහුවා ලංකාවේ කා එක්කද වැඩ කරන්න ඕනෑ කියලා. මට දිනෙල් වල්පොල, තව සමහර අය සහ ඔයාව (අශේන්) යෝජනා වුණා.”

“ශ්‍රී ලංකාවේ පෝන් නීතිවිරෝධීයි. මම ලංකාවේ පෝන් ක්‍රියේට් කරන්නේ නෑ. මම නීතිවලට අනුව කටයුතු කරනවා. ලංකාවේ වගේම ඩුබායිවලත් මම කරන්නේ නෑ.”

මියා යනු හුදු වීඩියෝ කරන්නියක් නොව, මනා අවබෝධයක් ඇති ව්‍යාපාරිකාවකි. ඇය දේශීය වයිරල් ට්‍රෙන්ඩ්ස් (Viral Trends – උදා: කුණාටු) භාවිතා කරන්නේ තම ‘Reach’ එක හෙවත් ප්‍රවේශය වැඩි කරගැනීමටයි. එමෙන්ම, තම වෘත්තිය සහ නීතිය අතර සීමාව ඇය මනාව හඳුනයි. රටක නීතියට ගරු කරමින් තම ව්‍යාපාරික නාමය (Brand Name) ආරක්ෂා කරගැනීමට තරම් ඇය වෘත්තීය මට්ටමක සිටී. ඇයට දිනෙල් වල්පොල සමග ඇති ගනුදෙනුව වන්නේ ලංකාවේ විශාල කතාබහක් ඇති කිරීමය. දිනෙල් සහ ඇය පෝන් වීඩියෝවක් නොකළත්, මෙරට සමාජ මාධ්‍යවල විශාල ආන්දෝලනයක් ඇති වුණේ දිනෙල්ට ඇය සමග ලිංගික සුවය ලබන්නට හැකි වුණාය කියන කුතුහලය නිසාය.

නූතන ශ්‍රමය, වෙහෙස සහ සමාජ මාධ්‍ය ව්‍යාපාරය

සාම්ප්‍රදායික රැකියාවන්හි ඇති වෙහෙස සහ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් ධනය ඉපයීම ගැන ඇයගේ කියවීම නූතන Gen Z පරම්පරාවේ පොදු ලක්ෂණයකි. වෙහෙස වී රස්සාවක් කිරීම ඔවුන්ගේ සිහිනය නොවේ. එසේ රස්සාවක් සිදු කරමින් දියුණු වෙන්නට බැරි බව ඔවුන් දනී. ඔවුන්ට අට පහේ රස්සා වෙනුවට, උපාධි ලබාගෙන සිදුකරන රස්සා වෙනුවට කෙටි මාර්ග සෙයයි.

“අවුරුදු දෙකකට කලින් මගේ ඉන්ස්ටග්‍රෑම් එක ඩිලීට් වුණා. ඒක විශාල කඩාවැටීමක්… ඊට පස්සේ මගේ යාලුවෙක් මට කිව්වා අවුල් වෙන්න එපා. සමාජ මාධ්‍ය කියන්නේ හාඩ් ලේබර් ජොබ්වලට (Hard Labor Jobs) වඩා ලේසි එකක්… මම හිතුවා මම නවයෙ ඉදන් පහ වෙනකල් රැකියාවේ දුකින් ඉන්න තිබුණානේ. ඒත් මම දැන් නිවාඩුවකට ඇවිල්ලා ඉන්නවානේ… පස්සේ මියා සී ගිණුම මිලියනයක් දක්වා වර්ධනය වුනා. ඒක මගේ ඉස්සර තුන්වැනි බැකප් අකවුන්ට් එක…”

මෙහිදී නූතන ඩිජිටල් ශ්‍රමයේ ස්වභාවය මනාව නිරූපණය වේ. උදේ 9 සිට සවස 5 දක්වා කරන සාම්ප්‍රදායික රැකියාවක (9 to 5 job) ඇති කායික සහ මානසික පීඩාව (Hard Labor) වෙනුවට, ලොව වටා සංචාරය කරමින් සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීම නූතන තරුණ ප්‍රජාවගේ සිහිනයයි. ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුම අහිමි වීමෙන් පසු නැවත නැගී සිටින්නේ ඩිජිටල් අවකාශයේ ඇති නිදහස අත්නොහැරීමේ අරමුණෙනි. ශ්‍රමය කායිකව නොවෙහෙසා ධනය ඉපයීම නව යුගයේ ආර්ථික දර්ශනය වී හමාරය.

OnlyFans වේදිකාව

බොහෝ සමාජ මාධ්‍ය තරු තමන් සමාජයට ආදර්ශයක් බව පෙන්වීමට උත්සාහ කරද්දී, මියා තම අරමුණ විවෘතව ප්‍රකාශ කරයි.

“මගේ රස්සාව පෝන් කරන එක. ඒත් පෝන්වලින් සල්ලි හම්බ කරන්න නම් මාකට් එකට කට්ටිය ගෙන්වාගැනීමට සමාජ මාධ්‍ය ඕනෑ. මම ඔබට ආදර්ශයක් නෙවෙයි. මම සමාජ මාධ්‍ය ඉන්ෆ්ලුවන්සර් කෙනෙකුත් නෙවෙයි. මම සමාජ මාධ්‍ය කරන්නේ, මාකට් කරලා පෝන්වලට කැමති අයගේ අවධානය අරගෙන ඊට පස්සේ සල්ලි හම්බ කරන්නයි… මම ලෝයර් කෙනෙක් වුණා නම් මම සෝෂල් මීඩියා නොකරන්න ඉඩ තිබුණා… මගේ සැබෑ පැෂන් එක පෝන්. මගේ සැබෑ පැෂන් එක සෙක්ස්.”

“මම පටන් ගත්තේ ඔන්ලිෆෑන්ස් (OnlyFans) එකෙන්. මම පෝන්හබ් ආවේ මාකට් එකට. දැන් වුණත් මගේ සම්පූර්ණ වීඩියෝ පෝන්හබ් එකේ නෑ. මාකටින්වලට පාවිච්චි කරන්නේ. මම සල්ලි හම්බ කරන්නේ ඔන්ලිෆෑන්ස් එකෙන්… මම ආසයි හෙන්ටායිවලට (Hentai)… ඊට පස්සේ මම කලැබරේෂන් (Collaboration) කරන්න ගත්තා. දැන් මම ආපහු ගොඩක් කරන්නේ සෝලෝ වැඩ.”

මෙය OnlyFans වැනි Subscription-based (දායකත්ව) වේදිකා ආර්ථිකයේ (Platform Economy) පැහැදිලි ව්‍යාපාරික ආකෘතියයි. ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් යනු හුදු ‘Marketing Funnel’ (අලෙවිකරණ පුනීලයක්) පමණි. එතැනින් නොමිලේ පෙන්වන දේ හරහා ග්‍රාහකයන් Pornhub වෙතත්, එතැනින් සැබෑ මුදල් උපයන OnlyFans වේදිකාව වෙතත් ගෙන්වා ගැනීම ඇයගේ ක්‍රමවේදයයි. තමා ‘ඉන්ෆ්ලුවන්සර්’ කෙනෙකු යැයි කියාගනිමින් සමාජය රැවටීමට ඇය උත්සාහ නොකරන අතර, ව්‍යාපාරයක් ලෙස ඇයගේ ඉලක්කය ඉතා පැහැදිලිය.

ලිංගිකත්වය

ඇය තමන් කරන රැකියාව සම්බන්ධයෙන් සමාජයේ ඇති කතිකාවත සහ ලැජ්ජාව ප්‍රශ්න කරයි.

“හැමෝම සෙක්ස් කරනවා. ඔයා දන්නවාද ලිංගික ශ්‍රමිකයන් කියන්නේ ලෝකයේ පරණම රස්සාව. ඉතින් ඇයි මට ලැජ්ජා හිතෙන්න ඕනෑ. මම කවුද කියන එකට ඇත්ත දෙයක් නම් මම අවුල් වෙන්නේ ඇයි… සමාජයේ ලැජ්ජාවක් තියෙනවා කියලා මම අවුල් වෙන්න් ඇයි. මම කවුද කියන ඇත්තටම මම අවංකයි.”

වැඩිහිටි කර්මාන්තයේ නියැලෙන ශ්‍රමිකයන් ද සාමාන්‍ය මනුෂ්‍යයන් බවත්, ඔවුන් කරන්නේ සේවා සැපයීමක් බවත් මෙයින් හැඟවෙයි. සමාජයේ ඇති කුහකත්වය (හැමෝම ලිංගිකත්වයට කැමති වුවත් ඒ ගැන විවෘතව කතා කිරීමට ලැජ්ජා වීම) ඇය නිර්භීතව ප්‍රශ්න කරයි. තම රැකියාව ලෝකයේ පැරණිතම රැකියාව බව මතක් කරමින්, ඇය තමාටම අනන්‍ය වූ ගෞරවයක් (Self-worth) ගොඩනගාගෙන ඇත.

ප්‍රේමය වෙනුවට ධනය

ඇයගේ අතිශය සාර්ථකත්වයට සහ මුදල් පසුපස හඹායාමට මූලික හේතුව වන්නේ ඇය පැමිණි කටුක අතීතයයි.

“දිනෙල් එක්ක මම පෝන් කළේ නෑ… දිනෙල්ව මම ඩේට් කරනවාද කියන ප්‍රශ්නයට මම කිසිම කමෙන්ට් එකක් දෙන්නෑ. හැබැයි ආදරය කියලා එකක් මට නෑ. මම තනිකඩයි දැන්. මම දැන් ආදරය කරන්නේ මගේ වෘත්තියට. යාලුකම් සහ පවුල විතරයි මට දැන් ආදරය. මට ආදරය කරන්න කෙනෙක්… ලැබේවි අවුරුදු තිහේදී. රිලේෂන්ෂිප් ප්‍රශ්න කියන ඒවා බර වැඩියි.”

“මම හැදී වැඩුණේ දුප්පත් පසුබිමක. ගෘහස්ථ හිංසනයට මුහුණදුන් පසුබිමකින් මම ආවේ… මම හිතන්න බැරි තරම් ගොඩක් දුප්පත් පසුබිමකින් ඇවිත් දැන් ගෙවල් මට තියෙනවා. සල්ලිවලින් මට කරන්න පුලුවන් දේවල් තියෙනවා. මගේ දෙමාපියන්ව සංචාරවලට අරන් යන්න පුලුවන්… මට ඒවා දෙන්න බෑ ආදරයට. මට ඕනේ දැවැන්ත විදියට ධනවත් වෙන්න. ගොඩක් සල්ලි හම්බ කරන්න.”

මෙහිදී මියාගේ මානුෂීය සහ සංවේදී පැතිකඩ නිරාවරණය වේ. ගෘහස්ථ හිංසනය සහ අන්ත දරිද්‍රතාවය විසින් ඇයට උගන්වා ඇත්තේ, ලෝකයේ එකම ආරක්ෂාව සහ සතුට “මුදල්” බවයි. ප්‍රේම සබඳතා යනු තවත් එක් හිසරදයක් (“බර වැඩියි”) ලෙස සලකන ඇය, ආදරයට වඩා ආර්ථික නිදහසට මුල් තැන දෙයි. මුදල් මගින් දෙමාපියන්ට වරප්‍රසාද ලබා දීමට හැකි වීම ඇය දකින්නේ විශාල ජයග්‍රහණයක් ලෙසිනි. මෙය නූතන සමාජයේ යථාර්ථයකි; තරුණ පරම්පරාව චිත්තවේගීය බැඳීම් (Emotional attachments) වලට වඩා මූල්‍ය ස්ථාවරත්වය (Financial stability) විශ්වාස කරන තත්වයට පත්ව ඇත.

මියා සී ගේ සාකච්ඡාව ගොසිප් තලයෙන් එහාට නිරීක්ෂණය කළොත්, ලිංගික කර්මාන්තය, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය සහ ප්ලැට්ෆෝම් ඉකොනොමි ගැන අවබෝධ කරගත හැක. සාම්ප්‍රදායික ආදරය, විවාහය සහ රැකියාව වෙනුවට, අසීමිත ධනය සහ නිදහස ප්‍රාර්ථනා කරන නූතන Gen Z පරම්පරාවේ අන්තවාදී ධනවාදී සිහිනයේ කැඩපතක් ලෙසද ඇයව අර්ථ දැක්විය හැකිය.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading