රාජකාරි කාලසීමාව තුළ තම සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවයේ නිරත වීම ඇතුළු විෂමාචාර ක්‍රියාවන් කිහිපයක් හේතුකොටගෙන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල්. වීරසේන මහතා සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී. සියඹලාපිටිය මහත්මියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙනවා.
වීරසේන මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති සභාපතිවරයාද වෙනවා.
පසුගිය අප්‍රේල් 9 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද වෛද්‍ය වැඩ වර්ජනය අවස්ථාවේදී, එම රෝහලේ සිදු වූ දරු ප්‍රසූතියකදී බිලිඳු දරුවකු මියයෑමේ සිද්ධිය පදනම් කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන ලද මූලික විමර්ශනයකට අනුව මෙම වැඩ තහනම් කිරීම සිදු කර තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් 2026 මැයි 08 වෙනිදා නිකුත් කරපු වැඩ තහනම් කිරීමේ ලිපි නිකුත් කර තිබෙනවා.
මේ සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරලා තියෙනවා.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල්. වීරසේන: මොහු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති සභාපතිවරයා විදියටත් කටයුතු කරනවා. ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී. සියඹලාපිටිය සූතිකාගාරයේ මූලික වගකීමක් පැවරුණු වෛද්‍යවරියක්.
අමාත්‍යාංශයේ විමර්ශන වාර්තාවලට අනුව එස්. තිලක්ෂිකා කියන මව රජයේ රෝහලේ සූතිකාගාරයේ දරු ප්‍රසූතියක් සඳහා සූදානම් කරලා ඉන්නවා. හැබැයි මේ වෙද්දි දරුවා මව්කුස ඇතුළෙදිම මලපහ කරලා, ඒවා එම දරුවාගේ මුඛයෙන් ශරීරගත වීමේ අනතුරුදායක තත්ත්වයකයි ඉඳලා තියෙන්නේ. මේ ගැන රෝහල් කාර්ය මණ්ඩලය උදේ 8.11 ඉඳන් කීප සැරයක්ම දුරකථනයෙන් නේවාසික වෛද්‍ය සියඹලාපිටිය මහත්මියව දැනුවත් කරලා තියෙනවා. ඒත් ඇය ඇවිත් නැහැ.
තත්ත්වය බරපතල නිසා උදේ 8.38ට විශේෂඥ වෛද්‍ය වීරසේන මහතාටත් මේ ගැන දැනුවත් කරලා තියෙනවා. හැබැයි ඔහුත් මේ දැඩි සත්කාරය අවශ්‍ය මොහොතේ රෝගියා ළඟට පැමිණ නැති බවට අමාත්‍යාංශය චෝදනා කරනවා.
වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයක් නැතුවම දරු ප්‍රසූතිය සිද්ධ වෙනවා. නිසි වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම නිසා දරුවාගේ ජීවිතයට බරපතල අනතුරක් වෙන්න මේක කෙළින්ම බලපාලා තියෙනවා.
වෘත්තීය සමිති නායකයා ඇතුළු මේ වෛද්‍යවරු දෙන්නා මේ අර්බුදකාරී වෙලාවේ ඉඳලා තියෙන්නේ ත්‍රිකුණාමලයේ තියෙන ‘Hymavathie’ කියන පෞද්ගලික රෝහලේ.
හරියටම උදේ 8.13 ට පෞද්ගලික රෝහලේදී වෙනත් මවක් මුදල් ගෙවා සිදුකළ සිසේරියන් සැත්කමක් තමයි මේ විශේෂඥ වෛද්‍යවරයා සහ නේවාසික වෛද්‍යවරිය ඒ පෞද්ගලික රෝහලේ කරකර ඉඳලා තියෙන්නේ.
තමන්ගේ මේ වරද වහගන්න මේ වෛද්‍යවරු දෙන්නා තමන්ගේ රාජකාරි දිනපොතේ (Diary) ඒ වෙලාවේ රෝහලේ රාජකාරි කළා කියලත් අසත්‍ය සටහන් යෙදූ බවත් චෝදනා එල්ල වෙනවා. මෙම චෝදනාව සත්‍ය නම්,, එය ආයතන සංග්‍රහය අනුව පැහැදිලිවම බරපතල විෂමාචාරයක් සහ ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කිරීමක්.
මේ කරුණු ඔක්කොම සලකා බලලා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ නියෝගය පරිදි ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII වන පරිච්ඡේදයේ අදාළ වගන්තිවලට අනුව මේ දෙදෙනාගේම වැඩ තහනම් කරලා තියෙනවා.
ඒ වගේම මේ වැඩ තහනම් කරලා තියෙන කාලසීමාව ඇතුළත රජයේ දේපළ බාරදීලා යන්න කියලත්, සෞඛ්‍ය ලේකම්වරයාගේ පූර්ව අවසරයකින් තොරව කිසිම හේතුවක් මත දිවයිනෙන් බැහැර වෙන්න බැහැ කියලත් මේ ලිපි මගින් ඔවුන්ට දැඩිව දැනුම් දීලා තියෙනවා.
වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන වෘත්තීය සමිති නායකයින්ගේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ආචාරධර්ම මොනවාද කියන එක, මේ සිදුවීම හරහා මුළු සමාජයටම ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා තියෙනවා. මේ ගැන ඉදිරියටත් කෙරෙන විධිමත් විනය පරීක්ෂණවලින් තවත් තොරතුරු හෙළි වීමට ඉඩ තිබෙනවා..
