කුලී පදනමට දේපළ ලබාදීමේදී පරීක්ෂාකාරී වන්න – පොලිස් මූලස්ථානයෙන් නිවාස හිමියන්ට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාව තුළ කුලී හෝ බදු පදනම මත ලබාදෙන නිවාස, ලැඟුම්හල් සහ වාණිජ ගොඩනැඟිලි තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ සහ වංචනික ක්‍රියාවල සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බැවින්, දේපළ හිමිකරුවන් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

විශේෂයෙන්ම විදේශිකයන් පිරිස් මෙරටට පැමිණ රහසිගත ලෙස අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචා ඉහළ ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලිසිය අවධාරණය කරයි.

පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන පදනම මත දේපළ ලබාගන්නා පුද්ගලයන්, හිමිකරුවන් කිසිසේත් අපේක්ෂා නොකරන අයුරින් එම පරිශ්‍රයන් අපරාධ සඳහා යොදාගන්නා බවයි.

2025 සහ 2026 වසරේ මේ දක්වා කාලය තුළ, ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටින විදේශිකයන් පිරිස් පරිගණක තාක්ෂණය යොදා ගනිමින් සිදුකළ මූල්‍ය වංචා රැසක් වටලනු ලැබීය.

පොලිස් ආඥා පනතේ 76 වැනි වගන්තියට අනුව, යම් නිවසක හෝ ගොඩනැඟිල්ලක පදිංචිව සිටින සියලුම පුද්ගලයන්ගේ තොරතුරු විමසා සිටීමට සහ ලබාගැනීමට පොලිසියට නීතිමය බලය හිමි වේ.

මේ හේතුවෙන් දේපළ හිමිකරුවන් හෝ ගෘහ මූලිකයන් තම නිවසේ වෙසෙන පවුලේ සාමාජිකයන්, සේවකයන් මෙන්ම කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන පදනම මත රැඳී සිටින තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ සියලු තොරතුරු අදාළ පොලිස් ස්ථානය වෙත ලබාදීමට බැඳී සිටී.

එමෙන්ම, පදිංචිකරුවන්ගේ පැමිණීම හෝ පිටව යාම වැනි ඕනෑම වෙනස්වීමක් සිදුවන සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව ප්‍රාදේශීය පොලිස් ස්ථානය කඩිනමින් දැනුවත් කිරීම අනිවාර්ය වන අතර, මෙම නීතිමය උපදෙස් පැහැර හැරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

කුලී පදනම මත දේපළ ලබාදීමේදී හිමිකරුවන් අනවශ්‍ය නීතිමය ගැටලුවලට මැදිවීම වැළැක්වීම සඳහා පොලිසිය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

ඒ අනුව, දේපළ ලබාගන්නා පුද්ගලයන්ගේ අනන්‍යතාවය සහ ඔවුන් එම පරිශ්‍රය ලබාගන්නා සැබෑ අවශ්‍යතාවය පිළිබඳව ඉතා සැලකිලිමත් ලෙස පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍ය වේ. යම් හෙයකින් සැකකටයුතු පුද්ගලයන් හෝ ස්ථාන පිළිබඳ තොරතුරු නිරීක්ෂණය වන්නේ නම්, තම වසමේ පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් හරහා හෝ 119 සහ 118 යන ක්ෂණික ඇමතුම් අංක මගින් වහාම පොලිසිය දැනුවත් කළ යුතුය.

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වන අඛණ්ඩ මෙහෙයුම් සාර්ථක කර ගැනීමට මහජනතාවගේ මෙම සක්‍රීය සහයෝගය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

අදාළ නිවේදනය පහතින්

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading