ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව පවරා ඇති නඩුව ලබන 25 වනදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබේ.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියාය.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, නඩු විභාගයේ සාක්ෂි මෙහෙයවීමට ප්‍රථම මෙම නඩුවට පාදක වී ඇති පරිගණක උත්පාදිත ලේඛන සකස් කළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්ති පාර්ශවයට අවස්ථාව ලබා දීම අත්‍යවශ්‍ය බවයි.
සාක්ෂි ආඥා පනතේ ප්‍රතිපාදනවලට අනුව විත්ති පාර්ශවයට එවැනි ප්‍රවේශයක් ලබාගැනීමට අයිතියක් ඇති බවත්, මේ දක්වා එම අවස්ථාව හිමි නොවීම හේතුවෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට බාධාවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සාක්ෂි ලෙස ඉදිරිපත් කෙරෙන ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්ති පාර්ශවයට අවස්ථාව ලබා දෙන්නේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ස්ථාවරය මීළඟ නඩු වාරයේදී දැනුම් දෙන ලෙස නියෝග කර තිබේ.
ඒ අනුව, නඩුවේ ඉදිරි කටයුතු සඳහා එය මේ මස 25 වනදා යළි කැඳවීමට නියම කෙරිණි.
