ගාල්ල බන්ධනාගාරයේ සැමරූ ‘පොඩියා’ ගේ උපන්දින පාටිය ! බන්ධනාගාරය තුළ අයිස් මත්ද්‍රව්‍යය භාවිත වන බවටත් ඉඟියක් !!

ගාල්ල බන්ධනාගාරයේ දී රැඳවියන් පිරිසක් විසින් පැවැත්වු උපන්දින සාදයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන වීඩීයෝවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, මෙම වීඩියෝව් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ” ලොකු පැටී නමැත්තාගේ ගෝලයකු වන ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින නාමල් හෙවත් ” පොඩියා ” නමැති රැඳවියා තවත් පිරිසක් සමග බන්ධනාගාරය තුළ කේක් දෙකක් කපා උපන් දිනය සමරන ආකාරය දැක්වෙන බවයි සඳහන් වන්නේ.

ගාල්ල බන්ධනාගාරයේ සී වාට්ටුව තුළ සිදුව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක සඳහන් කරනු ලැබුවා.

අදාළ වීඩියෝපටයේ අයිස් මත්ද්‍රව්‍යය බන්ධනාගාර රැඳවියන් අතර ද භාවිතා වන බව හැඟවෙන “අයිස් බෙදනකොට නම් කොළවලට දාන්න එපා ඉටි කොළ වලට දාන්න. කූඹියගේ කෑල්ල කාමරයට යවන්න” යනුවෙන් වන සංවාදය හරහා මෙරට බන්ධනාගාර පද්ධතිය සම්බන්ධ විශ්වාසනීයත්වය නැවත නැවතත් ප්‍රශ්නගත තත්ත්වයක් වෙත ඇද දමා තිබෙනවා.

කෙසේ නමුත් බන්ධනාගාරය තුළ සිදුවු සත්‍ය සිදුවීමක් ද යන්න පිළිබඳව සහ කුමන කාලයේ සිදුවූවක්ද යන්න පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගාල්ල බන්ධනාගාර නිළධාරීන්ට දැනුම් දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Author

Related Posts