ශ්‍රී ලාංකික දමිළ ලේඛක දීපචෙල්වන්ගේ කෘති හතරක් රඳවා තබාගැනීමට රේගුව විසින් පසුගියදා පියවර ගැනීමත් සමඟ, කලා මණ්ඩලයේ මැදිහත්වීම හා සංස්කෘතික අමාත්‍යවරයාගේ වැඩපිළිවෙළ මෙන්ම කලා කෘති හා අදහස් වාරණය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය කරනු ලැබුවා.
කෙසේ වෙතත්, කලා මණ්ඩලයේ නිර්දේශ මත එම කෘති හතර අතර වූ නවකතා කෘති දෙක නිදහස් කිරීමටත්, සෙසු කෘති දෙක වන තීරු ලිපි හා සම්මුඛ සාකච්ඡා ඇතුළත් කෘති දෙක නිදහස් නොකිරීමටත් තීරණය කළ බව රේගුව විසින් අදාළ කෘති අපනයනකරුට දැනුම් දී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනු ලබනවා.
ඒ අනුව මේ බව සඳහන් කරමින්, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක් මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික අමාතංශයට සම්බන්ධ ජාතික කලා මණ්ඩලයේ සාහිත්‍ය අනුමණ්ඩලය විසින් නිකුත් කරන ලද නිර්දේශ මත පදනම්ව අදාළ කෘති දෙක නිදහස් නොකරන බවයි.
නෛතික වශයෙන් බලපෑම් සිදු කරනු ලබන මෙවැනි තීරණයක් ගැනීම සඳහා දේශපාලන පත්වීම් ලැබ ඇති කලා මණ්ඩලයට හෝ සාහිත්‍ය අනුකමිටුවට ඇති විශේෂඥ දැනුම හෝ අවබෝධය කුමක්ද ? මෙසේ තමන්ට නැති බලයක් ආරූඪ කරගනිමින් කලා මණ්ඩලය සිදු කරන මෙම විහිළුව කුමක් ද ?
මෙම සිද්ධිය හරහා මතුවන ඛේදජනක හා විහිළු සහගත සිදු වීම නම් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා භාෂණයේ අයිතිය වෙනුවෙන් ප්‍රසිද්ධ වේදිකාවල හඬ ගෑ අයවලුන්ගෙන් සැදුම්ලත් කලා මණ්ඩලය හා සාහිත්‍ය අනු කමිටුව විසින්ම මෙවැනි වාරණයක් පැනවීමයි. කලාවේ සීමා පුළුල් කිරීම වෙනුවෙන් වන පුනරුදයක් පිළිබඳව හඬගෑ අයවලුන් ම මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් අදහස් වාරණය වීම සිදු විය යුතු බව පවසමින් උදම් ඇනීම විහිළුවක් ලෙසින් සැඟවී එන ඛේදයකි.
දැන් කලා මණ්ඩලයට “අපේ ආණ්ඩුව නොතිබ්බානම් දීපචෙල්වන් හිරේ” කියමින් හෝ කෘති දෙකක් නිදහස් වීම සමරන ලෙස පවසමින් ඝෝෂාවන් කළ හැකි වනු ඇත. එහෙත් සියල්ල අවසානයේ නැවතත් කලාව හා අදහස් ප්‍රකාශනය කිහිපදෙනෙකුට අවශ්‍ය ලෙස කිසිඳු නෛතික අනුදැනුමකින් තොරව සිදු වීම නැමති ඛේදය අපව හඹා එනු ඇත.
ශ්‍රී ලංකා රේගුව විසින් දෙමළ කෘති රඳවා තබාගත් එකම අවස්ථාව, පසුගිය දා දීපචෙල්වන්ගේ කෘති රඳවා තබාගත් අවස්ථාව නොවේ. කලා මණ්ඩලය මේ ඔප්පු කරමින් සිටින්නේ දීපචෙල්වන් අන්තිමයා ද නොවන බවයි.
