පාස්කු ප්‍රහාරය හා දේශබන්දුගේ ක්‍රියාකලාපය ගැන කාදිනල් හිමියන්ගෙන් හෙළිදරව්වක් ! වත්මන් රජය වෙත ප්‍රශංසාවක් !!

2019 වර්ෂයේ අප්‍රේල් 05 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ, ගැලනිගම පිටවීමේ දොරටුව අසල දී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂාවට භාජනය කිරීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු උත්සාහ කළ විට, එම ලොරි රථයට පරීක්ෂාවකින් තොරව යන්නට ඉඩ දෙන ලෙස එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය දුරකතන ඇමතුමකින් අණ කිරීම සම්බන්ධ සිද්ධියක් කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් හෙළිදරව් කර තිබෙනවා.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර හතක් සපිරීම නිමිත්තෙන් අද උදෑසන පැවැති විශේෂ දේව මෙහෙය අමතමින් මේ පිළිබඳ අදහස් දැක්වූ අගරදගුරු හිමියන් වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ, නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ අණකළේ ඇයි ? එම ලොරි රථයේ ප්‍රවාහනය කළේ කුමක්ද? එම රථයෙන් පානදුර ප්‍රදේශයේ නිවසකට ගෙනැවිත් ගොඩබෑවේ මොනවාද? ඒ නිවස තුළ සිටි අය කවුරුන්ද? එම ගොඩබෑ දෑ පසුව වෙනත් ස්ථානයකට ගෙන ගියේද? එසේ නම් ඒ කිනම් ස්ථානයකටද යන්න විමසා බැලීම අත්‍යවශ්‍ය වන බවයි.

එමෙන්ම, සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම පානදුර වලාන ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාස්කු ප්‍රහාරයට පෙර දිනවල එහි පදිංචිව සිටි බවට කරුණු ඉදිරිපත් වීම තුළ, අලුයම 3:00 ට මෙවැනි නියෝගයක් ලබා දීමට තරම් දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රියාකාරී වූ හේතුව අනිවාර්යයෙන්ම විමර්ශනය කළ යුතු බව වැඩිදුරටත් කාදිනල් හිමියන් අවධාරණය කර සිටියා.

මීට අමතරව, 2019 වසරේ සිට පිහිට වූ සියලුම රජයන් විසින් මෙම මිනීමරු ප්‍රහාරයන්හි සත්‍යතාව පසුපස යෑමට දැක්වූ උවමනාව ඉතා අල්ප මට්ටමක පැවති බව නිරීක්ෂණය වූ බවත්, එම ජනාධිපතිවරුන්, පොලිස්පතිවරුන් මෙන්ම නීතිපතිවරුන්ද බොහෝදුරට මෙම විමර්ශන නොසලකා හරින්නට හෝ කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවත් සඳහන් කළ කාදිනල් හිමියන් ඒ සඳහා ඔවුන් යොදාගත් උපාය මාර්ගය වූයේ තමන් කැමති ආකාරයේ නිගමන ලබාගත හැකි කමිටු පත් කිරීමත්, මතු වන විරෝධතාවලට තාවකාලික පැලැස්තර අලවා පිළිතුරු නොදීමට උත්සාහ කිරීමත්, ප්‍රයෝගකාරී උපක්‍රම මගින් විමර්ශන බොඳ කර දැමීමත් බව සඳහන් කරනු ලැබුවා‍.

කෙසේ නමුත්, ඊට සාපේක්ෂව වත්මන් ජාතික ජන බලවේග රජය මේ පිළිබඳව වඩාත් සුබවාදී පිළිවෙතක් අනුගමනය කරන බව පිළිගත යුතු බවත්, ඒ ගමන් මගට විවිධ අයුරින් බාධක පමුණුවන්නට ඇතැම් පාර රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වෙමින් සිටින බවත් කාදිනල් හිමියන් සඳහන් කරමින් උදාහරණයක් ලෙස, ජනාධිපති කොමිෂන් සභාව විසින් සිය වගකීම පැහැර හළ හිටපු ජනාධිපතිවරුන්ට මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පොලිසියේ ඇතැම් නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැහැදිලි නිර්දේශ ලබාදී තිබුණද, නීතිපති දෙපාර්තමේන්තුව අද වනතුරුත් ඒ ගැන කල් මරමින් සිටින බව කනගාටුවෙන් වුවද පෙන්වා දිය හැකි බවයි අවධාරණය කරනු ලැබුවේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ දී සිදු කරන විමර්ශන හරහා පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි මතු වී ඇති ඇතැම් ප්‍රභූ නිලධාරීන් පිළිබඳව, විශේෂයෙන්ම එංගලන්තයේ ‘චැනල් 4’ නාලිකාව ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන පිළිබඳව බියක් ඇති කරගත් ඇතැම් දේශපාලකයින් සහ දේශපාලන බලවේග, එම විමර්ශන කඩාකප්පල් කිරීමට විවිධ බොළඳ ප්‍රයත්නයන් දරමින් සිටින බව පෙන්වා දුන් කාදිනල් හිමියන් ඔවුන් එසේ සිදු කිරීම පසුපස තමන්ගේ නිරුවත හෙළිවේය යනුවෙන් වන බිය සැඟව ඇති බවත්, ඒ අනුව මවාගන්නා ප්‍රබන්ධ ඔස්සේ සත්‍යය යටපත් කිරීමට උත්සාහ කරන බවත් සඳහන් කරනු ලැබුවා.

ඒ අනුව, එවැනි පසුබිමක, තරාතිරම නොබලා මේ සිද්ධීන්ට සම්බන්ධ වූවන් ගෙන්වා හෝ තමන් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේ වරදක් නැති බව සඳහන් කළ කාදිනල් හිමියන් අවශ්‍ය වන්නේ සත්‍යය සෙවීම බවත්, ඒ සඳහා අවංකව ක්‍රියා කරන විට කුමන්ත්‍රණවලට සම්බන්ධ දේශපාලන බලවේග කලබල වීම බලාපොරොත්තු විය හැකි බවත් පෙන්වා දෙමින් ප්‍රශ්න කළේ  එසේ නොවේ නම්, දුර්මත නිර්මාණය කරමින් විමර්ශන නොමග යවන්නට ඔවුන් උත්සාහ කරන්නේ ඇයි ද යනුවෙනුයි.

මෙහිදී අවසාන වශයෙන් අදහස් දක්වමින් කාදිනල් හිමියන් පැවසුවේ, 2024 ඔක්තෝබර් 06 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මීගමුව කටුවපිටිය දේවස්ථානයේදී වින්දිතයන් මුණගැසුණු මොහොතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදෙන බවට ප්‍රතිඥා දුන් බවයි. ඒ අනුව එම පොරොන්දුව යථාර්ථයක් කරමින් පරිපූර්ණ, විනිවිධ පෙනෙන පරීක්ෂණයක් පවත්වා සත්‍යය හෙළිදරව් කරන ලෙස තමා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, ඒ සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති බව තමන් විශ්වාස කරන බවත් කාදිනල් හිමියන් පවසනු ලැබුවා.

Author

Related Posts