6 ශ්‍රේණිය මොඩියුලය නිසා තාවකාලිකව ඉල්ලා අස්වූ අධ්‍යක්ෂක ජනරාල්වරියට මොකද වුණේ ? ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්…

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) 15 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විද්වතෙකු සහ ආර්ථික විද්‍යාඥයෙකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න-බණ්ඩා මහතා ඊයේ (20) නිල වශයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන තිබේ. මහරගම පිහිටි ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේදී ආගමික වතාවත්වලින් අනතුරුව ඒ මහතා සිය ධුරයේ වැඩකටයුතු භාර ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයාරත්න-බණ්ඩා මහතා මෙරට මෙන්ම ජාත්‍යන්තර අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණයෙක් බව පැවසේ. මෙම පත්වීමට පෙර ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර, එම විශ්වවිද්‍යාලයේම ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති (2015-2021) ලෙසද කටයුතු කර ඇත. මීට අමතරව ඔහු ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති ලෙසද සේවය කර තිබේ.

සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙන් (National University of Singapore) සිය ආචාර්ය උපාධිය (PhD) ලබාගත් ඒ මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව සාමර්ථ්‍ය සහිත උපාධිධාරියෙකි. කැනඩාවේ වෝටර්ලූ විශ්වවිද්‍යාලය ඇතුළු ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කිහිපයක ආරාධිත පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු, ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ පර්යේෂණ පත්‍රිකා සහ කෘති රැසක කතුවරයෙකි.

තාවකාලිකව ඉල්ලා අස්වූ අධ්‍යක්ෂක ජනරාල්වරියට මොකද වුණේ ?

පසුගියදා දැඩි කතා බහකට ලක් වූ ජාතික අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කරන ලද 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් අන්තර්ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය 2026 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී තිබුණා.

එහිදී එම මොඩියුලයට සම්බන්ධයෙන් සහ ඊට අනවශ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තීබුණා. කෙසේ වුවද එම කමිටුවේ වාර්තාවක් මේ වන තෙක් ප්‍රසිද්ධ කර නොමැති අතර, මේ සම්බන්ධයෙන් ඔවුන් වැරදිකරුවන් නම්, මේ වන තෙක් ඇය සම්බන්ධයෙන් හෝ NIE සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිළි නැත.

ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබුණා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා 2026.04.01 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණා. මෙහිදී එම වාර්තාවට අනුව හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරිය මේ සම්බන්ධයෙන් වගකිවයුත්තා නම් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන් මොනවාද යන්න ගැටලුවකි.

රජයක් ලෙස ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම ජය භාර ගන්නා බව එහිදී අමාතයවරයා පැවසු අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පරීක්ෂණ කටයුතු සිදු වන බවත් එහිදී පවසා සිටියා. එම පරීක්ෂණ වල ප්‍රගතිය කුමක්ද යන්නද අධ්‍යාපන අමාත්‍යංශය සහ රජය පැවසිය යුතුය.

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කරන ලද කමිටුවේ ප්‍රධානියා ලෙස, හිටපු අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න පත් කර තිබුණා. නමුත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලීන් පවසා සිටියේ එම කමිටුවේ ප්‍රධානියා ලෙස කළ හිටපු රංජිත් ආරියරත්න මහතා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇති බවයි. එසේ සිදු කිරීමත් සමඟ අදාළ විමර්ශන කටයුතු මේ වන විට ඇණහිට ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලීන් චෝදනා කරයි.

මෙම බරපතළ වගකීම් විරහිත ක්‍රියාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙනු වෙනුවට, විමර්ශන කමිටුවේ ප්‍රධානියා වෙනත් තනතුරකට පත් කිරීම හරහා මුළු ක්‍රියාවලියම යටපත් වී ඇති බවත්, මෙවැනි තත්ත්වයක් තුළ සිදුවූ විෂමාචාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් වීම ප්‍රශ්නගත වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading