ගාසා තීරයේ සිදු කරන ලද යුද අපරාධවලට සම්බන්ධ බවට විශ්වාස කරන හා ඒ සඳහා පැහදිලි සාක්ෂි සහිත, ඊශ්‍රායල හා ඇමරිකානු පුරවැසිභාවය සහිත සොල්දාදුවෙකු වන ජේක් බර්කොන්ස් (Jake Burkons) සංචාරකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව සඳහන් කරමින් ඊට එරෙහිව හින්ද් රජාබ් පදනම (HRF) විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඊශ්‍රායලයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවය සහිත ජේක් බර්කොන්ස්, ඊශ්‍රායල හමුදාවේ 7 වන සන්නද්ධ බ්‍රිගේඩයට අයත් 603 වන සටන් ඉංජිනේරු බලඇණියේ ‘D’ සමාගමේ සේවය කළ අයෙකු වන අතර, ඔහු ගාසා තීරයට අනුයුක්ත කිරීමෙන් අනතුරුව, ඔහු විසින් සහභාගී වූ හමුදා මෙහෙයුම් පිළිබඳව HRF විමර්ශකයින් විසින් පුළුල් ලෙස තොරතුරු රැස් කර රජය වෙත භාර දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඒ අනුව, ජේක් අයත් වන 603 වන සටන් ඉංජිනේරු බලඇණිය විසින් ඔවුන් වෙත පැවරුණු බෝම්බ ඉවත් කිරීම සහ බලකොටු ඉදිකිරීම වැනි ඉංජිනේරු කාර්යයන් වෙනුවට ගාසා තීරය පුරා නේවාසික ගොඩනැගිලි, මුස්ලිම් පල්ලි, කෘෂිකාර්මික ඉඩම් සහ කාර්මික ප්‍රදේශ වැනි සිවිල් ජනතාවගේ යටිතල පහසුකම් විනාශ කිරීම සඳහා වන ප්‍රධාන මෙහෙයුම් ඒකකයක් ලෙස ක්‍රියා කර ඇති බවත්, 2023 ඔක්තෝබර් සහ 2025 මැද භාගය අතර කාලය තුළ මෙම බලඇණිය විසින් අවම වශයෙන් එවැනි සිදුවීම් 65 ක් පමණ සිදු කර ඇති බවත්, HRF විසින් වාර්තා කර තිබෙනවා.
මීට අමතරව, රෝහල්වලට ප්‍රහාර එල්ල කිරීම සහ සිවිල් වැසියන් නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම මෙන්ම ඔවුන්ට අයහපත් ලෙස සැලකීම සම්බන්ධයෙන් මෙම ඒකකයට චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ නමුත්, මෙම HRF විමර්ශනය මගින් හෙළි වී ඇත්තේ, 2025 ඔක්තෝබර්-නොවැම්බර් කාලසීමාව තුළ ඛාන් යුනිස් (Khan Younis) හි සිදු වූ එක් නීති විරෝධී විනාශ කිරීමේ සිදුවීමකට ජේක් බර්කොන්ස්ගේ සෘජු සම්බන්ධයක් ඇති බව තහවුරු කළ හැකි බවයි.
ඒ අනුව, බර්කොන්ස් විසින්ම තම සමාජ මාධ්‍ය ගිණුම්වල ගාසා තීරයේ ඛාන් යුනිස් සහ රෆා ප්‍රදේශවල රැඳී සිටින ආකාරය දැක්වෙන සාක්ෂි සටහන් කර ඇති බවත්, එක් අවස්ථාවක, විනාශ කරන ලද සිවිල් ගොඩනැගිල්ලක් තුළ සෙසු සොල්දාදුවන් සමඟ ඔහු බෝම්බ පුපුරවන කේබලයක් (detonation cable) අල්ලාගෙන සිටින ආකාරය සටහන්ව තිබූ බවත්, ඒ හරහා එම විනාශය සඳහා ඔහුගේ සෘජු දායකත්වය පෙන්නුම් කළ හැකි බවත් HRF විසින් චෝදනා කර සිටිනවා.
ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුව, සෘජු හමුදාමය වාසියක් ලැබෙන බවට සාධාරණීකරණය කළ නොහැකි සිවිල් දේපළ විනාශ කිරීම නීති විරෝධී වන අතර, මෙම කඩා දැමීම් සිදු කර ඇති ආකාරය අනුව ඒවා සක්‍රීය සටන් පවතින අවස්ථාවක හදිසි අවශ්‍යතා හා හමුදා හේතු මත සිදු වූ දේ නොවන බව පැහැදිලි වන බවයි පවසන්නේ.
ජේක් බර්කොන්ස් ඇතුළු බලඇණිය වෙත එල්ල වන බරපතල චෝදනා වන, හමුදාමය අවශ්‍යතාවයකින් තොරව දේපළ විශාල වශයෙන් විනාශ කිරීම, චේතනාන්විතව සිවිල් වස්තූන් වෙත ප්‍රහාර එල්ල කිරීම, ආරක්ෂාවක් නොමැති ගොඩනැගිලි සහ සිවිල් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීම හෝ බෝම්බ හෙලීම ආදී යුද අපරාද හා ඒවාට බර්කොන්ස් සම්බන්ධ බවට පවතින විශ්වසනීය සාක්ෂි සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර නීතිය යටතේ පවතින බැඳීම්වලට අනුකූලව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමිනුුුයි හින්ද් රජාබ් පදනම විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත මෙලෙස නිල පැමිණිල්ලක් බාර දෙනු ලැබ ඇත්තේ.
ඒ අනුව, ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කළ බවට සැක කරන පුද්ගලයන් තම රටේ සිටින්නේ නම්, ඒ පිළිබඳව විමර්ශනය කර නඩු පැවරීමට ජාත්‍යන්තර නීතිය යටතේ රජය බැඳී සිටිනු ලබනවා.
