ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරන ලද සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවයට එරෙහිව ජ්‍යොතිර්වේදීන්ගේ විද්වත් කමිටුව අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙම උත්සවය මෙරට සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතික අනන්‍යතාවය දැඩි ලෙස විකෘති කරමින් පවත්වා ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
ජ්‍යොතිර්වේදීන්ගේ විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල ප්‍රධාන කරුණු කිහිපයක් පදනම් කරගනිමින් ගොනු කර ඇත. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ සිංහල අවුරුදු උත්සවයේ පෞරාණික වටිනාකම්වලට හානි වන අයුරින් කටයුතු කිරීම තුළින් බරපතළ සංස්කෘතික හානියක් සිදුව ඇති බවයි.
එමෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම විකෘති කරන ලද උත්සවය ප්‍රසිද්ධ කිරීම හරහා අනාගත පරපුරට වැරදි සහගත සංස්කෘතික ආදර්ශයන් සැපයීම සම්බන්ධයෙන් ද ඔවුහු සිය විරෝධය පළ කරති. මේ හේතුවෙන්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙස එම කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විද්වත් කමිටුවේ සාමාජිකයින් අවධාරණය කළේ, මෙවැනි ක්‍රියාවන් හරහා වසර දහස් ගණනක් පැවති දේශීය සංස්කෘතිය දැඩි ලෙස හෑල්ලුවට ලක්වන බවයි.
චන්දිමාල් ජයසිංහ නැමැති පුද්ගලයා විසින් පවත්වන ලද මෙම විකෘති සහගත සංස්කෘතික සංදර්ශනය සමස්ත ජාතියටම කරන ලද නිග්‍රහයක් බව පෙන්වා දෙන එම කමිටුව, මෙම නොහොබිනා ක්‍රියාව සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියේ ජාතියෙන් සමාව ගත යුතු බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
