ඉන්දුනීසියාවේ වෙසෙන මිලියන 4කට අධික ගෘහ සේවකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ඓතිහාසික ගෘහ සේවක පනත (Domestic Workers Bill) එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ රජය විසින් නිල වශයෙන් සම්මත කර තිබේ. මෙය දශක දෙකකට අධික කාලයක් තිස්සේ පැවති දැවැන්ත අරගලයක සහ කැපවීමක ප්‍රතිඵලයකි.
මෙම අප්‍රේල් 21 වන දින ඉන්දුනීසියානු පාර්ලිමේන්තුවේදී පනත සම්මත වීමත් ඒ අසල රැස්ව සිටි ගෘහ සේවිකාවන් සතුටු කඳුළු සලමින් සිය ජයග්‍රහණය සැමරූහ. ජාතික ගෘහ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් උද්දේශන ජාලය (National Advocacy Network for Domestic Workers’ Rights- JALA PRT) සහ ජාත්‍යන්තර ගෘහ සේවක සම්මේලනය (IDWF) එක්ව වසර 22ක් තිස්සේ මෙහෙයවූ මෙම සටන, ගෘහ සේවකයන් ද කම්කරුවන් ලෙස පිළිගැනීමේ සන්ධිස්ථානයකි.
මෙම පනත මඟින් ඉන්දුනීසියානු ගෘහ සේවකයන්ට මෙතෙක් අහිමිව තිබූ රැකවරණය සහ නීතිමය පිළිගැනීම පුළුල් ලෙස හිමි වේ. මෙහි ප්‍රධානතම සන්ධිස්ථානය වන්නේ ගෘහ සේවකයන් නිල වශයෙන් “සේවකයන්” ලෙස නීතිය ඉදිරියේ පිළිගැනීමට ලක්වීමයි. ඒ හරහා ඔවුන්ට සෞඛ්‍ය රක්ෂණය ඇතුළු අනෙකුත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වන අතර, බඳවා ගැනීමේ නියෝජිතායතන ගාස්තු පියවා ගැනීම සඳහා සේවක වැටුප්වලින් මුදල් කපා හැරීමද මෙම නීතියෙන් සපුරා තහනම් කර ඇත.
මීට අමතරව, ගෘහ සේවකයන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සඳහා අවශ්‍ය අධ්‍යාපන සහ පුහුණු අවස්ථා ලබාදීමටත්, ළමා ශ්‍රමිකත්වය තුරන් කිරීමේ අරමුණින් සේවයේ නියුක්ත විය හැකි අවම වයස අවුරුදු 18ක් ලෙස ස්ථිර කිරීමටත් මෙම පනත මඟින් පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගෘහස්ත කම්කරු සංවිධානය ද නිවේදනයක් නිකුත් කර තිබුණා. “ඉතිහාසය පුරා ඉන්දුනීසියාවේ ගෘහ සේවකයන් කම්කරු නීතියෙන් සහ මූලික කම්කරු ආරක්ෂණයන්ගෙන් බැහැර කර තිබූ අතර, එමඟින් මිලියන 4කට අධික ගෘහ සේවකයන් අඩු වැටුප්, සමාජ ආරක්ෂණයක් නොමැතිකම, අධික වැඩ කරන වේලාවන් මෙන්ම කායික හා ලිංගික අපයෝජනයන්ට ගොදුරු වීමේ අවදානමකට ලක්ව සිටියහ.
මෙම නව නීතිය ගෘහ සේවකයන් අයිතිවාසිකම් සහිත සේවකයන් ලෙස පිළිගැනීමට සහ යුක්තිය ඉටු කිරීමට තැබූ තීරණාත්මක පියවරකි. අප්‍රේල් 21 වන දින පනත සම්මත වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිටි ගෘහ සේවිකාවන් සතුටු කඳුළු සැලීමටත්, රට පුරා සැමරුම් පැවැත්වීමටත් හේතුව එයයි. ඔවුන්ට අනුව, මෙම නීතිය මඟින් ඔවුන් අනෙකුත් සේවකයන් මෙන්ම ගෞරවාන්විත මනුෂ්‍යයන් ලෙස සමාජය විසින් පිළිගැනීමට මාවත විවර කර දී තිබේ.”
This law opens the door for society to recognize them as human beings with dignity, just like other workers.
“මේක හරියට හීනයක් වගෙයි. කොන් කරනු ලැබූ කාන්තාවන් ලෙස ආරක්ෂාව ලබා ගැනීම වෙනුවෙන් අප වසර 22ක් පුරා කළ අරගලය මෙයයි,” යනුවෙන් ජකර්තාහි ‘සපුලිදි’ (Sapulidi) ගෘහ සේවිකා සංගමයේ නායිකාවක වන අජෙං අස්තුති පැවසුවාය.
යොග්යාකර්තාහි ‘තුනාස් මුලියා’ (Tunas Mulia) ගෘහ සේවිකා සංගමයේ සභාපතිනී ජුමියෙම් මෙසේ පැවසුවාය. “අපි මේ වෙනුවෙන් බොහෝ කාලයක් පෙරුම් පිරුවා, දැන් අවසානයේ අපට එය දැනෙනවා. දැඩි අව්ව සහ නොකඩවා ඇද හැලුණු වැසි මධ්‍යයේ වුවද, අපි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉදිරිපිට එකට නැගී සිටිමින් අඛණ්ඩව සටන් කළෙමු.”
ගෘහ සේවක අයිතිවාසිකම් සඳහා වන නීතිමය පිළිගැනීමේ අරගලය වසර ගණනාවක සිට මෙහෙයවනු ලබන්නේ ගෘහ සේවකයින් සඳහා වන ජාතික උපදේශන ජාලය (JALA PRT) විසිනි. ඒ සඳහා යොග්යාකර්තා, සෙමරන්ග්, ටැන්ගෙරන්ග්, ජකර්තා, මකසාර් සහ උතුරු සුමාත්‍රා යන ප්‍රදේශවල ක්‍රියාත්මක ගෘහ සේවක වෘත්තීය සමිති අටක් (SPRT), සිවිල් සමූහ සහ අනෙකුත් වෘත්තීය සමිති ද එක්ව සිටිති. 2004 වසරේදී පිහිටුවන ලද මෙම සන්ධානය, ගෘහ සේවකයින්ගේ අයිතිවාසිකම් සහ සුභසාධනය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටීමටත්, ඔවුන්ට නීතිමය ආරක්ෂාව තහවුරු කිරීමටත් එම වසරේදීම පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ නමුත්, විවිධ හේතු මත සහ ඇතැම් විට අතිශය අතාර්කික නිදහසට කරුණු ඉදිරිපත් කරමින් මෙම පනත් කෙටුම්පත දශක දෙකකට වැඩි කාලයක් පාර්ලිමේන්තුව තුළ අත්හිටුවා තිබුණි.
මෙම නව නීතිය විශේෂයෙන්ම වැදගත් වන්නේ, ගෘහ සේවකයන්ට මෙතෙක් නීතිමය පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් නොමැති වීමට අමතරව, ඔවුන්ව සේවා යෝජකයන් සහ සමාජය විසින් අයිතිවාසිකම් සහිත “සේවකයන්” ලෙස නොව සාම්ප්‍රදායිකව “වැඩකාරයන්” හෝ “මෙහෙකාරියන්” (ඉන්දුනීසියානු භාෂාවෙන් “Pembantu” සහ “Asisten Rumah Tangga”) ලෙස සැලකීම හේතුවෙනි. මෙම තත්ත්වය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුව නූතන වහල්භාවයට (Modern-day slavery) ඇද දමා තිබේ.
JALA PRT සංවිධානය විසින් මෙවැනි අපයෝජන සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර, පහර දීම්වලට ලක්වූ, සත්ව මළපහ අනුභව කිරීමට බලකෙරුණු සහ බල්ලන් රඳවන කූඩුවක දම්වැල් දමා සිරකර තැබූ ”සිටි කොතිමා” ගේ සිදුවීම ඒ අතරින් වඩාත් කම්පන සහගත එකකි. මෙවැනි සිදුවීම් හරහා ඉන්දුනීසියාවේ ගෘහ සේවකයන් මුහුණ දෙන පද්ධතිමය වෙනස්කොට සැලකීම් සහ ගෘහ සේවය ඉතා පහත් කොට සැලකීමේ බරපතළ ස්වභාවය මනාව පැහැදිලි වේ.
වසර ගණනාවක් තිස්සේ පනත සම්මත කර ගැනීමට නොයෙක් කැප කිරීම් කරමින් ගෘහ සේවක සහෝදරියන්ට නායකත්වය ලබා දුන් JALA PRT සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක ලිටා අංග්‍රයිනි පනත සම්මත ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව අසල නොඉවසිලිවන්තව බලා සිටියාය. අයගේ සතුටු කඳුළු පිරුණු දෙනෙතින් පැවසූ කතාව මෙයයි.
“ගෘහ සේවකයන්ගේ ආරක්ෂාව සඳහා වන නීතිමය පිළිගැනීම, ඉන්දුනීසියාව වඩාත් ශිෂ්ටසම්පන්න සහ මානුෂීය සමාජයක් කරා ගෙන යනු ලබයි. අප මුහුණ දුන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද, මෙම නීතිය කවදා හෝ සම්මත වනු ඇතැයි යන විශ්වාසය අප තුළ සැමවිටම තිබුණි. එම දුෂ්කරතා අපව වඩාත් ශක්තිමත් කළ අතර, වෙනසක් වෙනුවෙන් අඛණ්ඩව සටන් කිරීමටත්, ගෘහ සේවකයන්ගේ ආරක්ෂාව සඳහා නව රාමුවක් ගොඩනැගීමටත් අපව පොළඹවන ලදී. දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන්, එහෙත් වෙනස්කොට සැලකීම්වලට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ බහුතරයක් වන කාන්තාවන් වෙනුවෙන් මෙම නීතිය ක්‍රියාත්මක වේ. ගෘහ සේවකයන්ගේ මෙම අරගලය හඳුනා ගැනීම පිළිබඳව ව්‍යවස්ථාදායක මණ්ඩලයේ (Baleg) නායකත්වයටත්, ක්‍රියාකාරී කමිටුවේ (Panja) නායකත්වයටත් සහ රජයටත් අපගේ ස්තූතිය පිරිනමමු.”

ගෘහ සේවක පනත සම්මත වීම යනු ප්‍රායෝගිකව ගෘහ සේවක අයිතිවාසිකම් සම්පූර්ණයෙන් භුක්ති විඳීම සඳහා තැබූ පළමු පියවර පමණක් වන අතර, පැහැදිලි රෙගුලාසි පැනවීම, ශක්තිමත් බලාත්මක කිරීම සහ සේවා යෝජකයන් මෙන්ම ගෘහ සේවකයන් අතර පුළුල් මහජන දැනුවත්භාවයක් ඇති කිරීම ඇතුළුව මෙම නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ඉන්දුනීසියානු රජය වහාම පියවර ගත යුතුය. එමෙන්ම, ගෘහ සේවකයන් සඳහා වන යහපත් රැකියා පිළිබඳ ILO සම්මුතිය 189 ට අනුකූලව නීතිය ක්‍රියාත්මක කිරීම නිතිපතා සමාලෝචනය කිරීම සහ තවදුරටත් කම්කරු නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම ගෘහ සේවකයන්ට පූර්ණ කම්කරු ආරක්ෂාව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
ඉන්දුනීසියාවේ මිලියන 4ක් වන ගෘහ සේවකයන් කිසිවකුත් මඟ නොහැරෙන සේ ඔවුන්ට පිළිගැනීම, ගෞරවය, යහපත් රැකියාවක් සහ ගෞරවාන්විත ජීවිතයක් සහතික කිරීම සඳහා අවශ්‍ය වන C189 සම්මුතිය අපරානුමත කිරීම, ජාතික නීතිමය රාමුව තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීම සහ නීතිමය ආරක්ෂාවන් පූර්ණ ලෙස ක්‍රියාත්මක කර බලාත්මක කිරීම වෙනුවෙන් JALA PRT සහ IDWF සංවිධාන අඛණ්ඩව සටන් කරන අතරම, ඒ සඳහා අවශ්‍ය සමාජීය සහ සංස්කෘතිකමය වෙනස ඇති කිරීම උදෙසා ද ඔවුන් නොකඩවා පෙනී සිටිනු ඇත.
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ශ්‍රමිකයන්ද ගෘහ සේවය රැකියාවක් ලෙසත් ගෘහස්ථ ශ්‍රමිකයන් කම්කරුවන් ලෙසත් කම්කරු නීතියෙන් පිළිගන්නා ලෙස වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව සටන් කරමින් සිටී. වසර ගණනාවක් තිස්සේ බලයට පත් වූ ශ්‍රී ලංකාවේ විවිධ ආණ්ඩු ගෘහ සේවකයන් කම්කරුවන් ලෙස පිළිගන්නා බවටත්, ඔවුන්ට අදාළ නීති ප්‍රතිසංස්කරණය කරන බවටත් පොරොන්දු ලබා දුන්නද, ඒවා හුදු දේශපාලකයන්ගේ හුදු මැතිවරණ පොරොන්දු වලට පමණක් සීමා විය. අවම වැටුප් , සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇතුළු යහපත් රැකියා කොන්දේසි නොමැතිව කම්කරු අයිතිවාසිකම් අහිමි තත්ත්වයන් යටතේ සේවය කිරීමට බොහෝ පිරිසකට සිදු වී ඇත්තේ කම්කරු නීති ආවරණයෙන් ගෘහ සේවකයන්ව පිටමන් කිරීම හේතුවෙනි.
කෙසේ වෙතත්, වත්මන් රජය විසින් හඳුන්වා දීමට නියමිත නව කම්කරු නීති සංශෝධන මගින් ගෘහස්ත කම්කරුවන් විශේෂිත කම්කරු නීති ආවරණයකට යටත් කිරීමට පියවර ගෙන ඇති බව පවසන අතර, ඒ හරහා ගෘහ සේවය නිල වශයෙන් රැකියාවක් ලෙස පිළිගැනීම, ගෘහ සේවකයාට ‘කම්කරු’ යන නීතිමය පිළිගැනීම ලබා දීම මෙන්ම ඔවුන්ගේ සේවා සුරක්ෂිතතාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම යන කරුණු ඉටු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බොරු පොරොන්දුවලින් බැට කෑ 80,000ක් ඉක්මවන ගෘහ සේවකයින්, මෙවර තම සිහිනය සැබෑ වනු ඇතැයි යන දැඩි විශ්වාසයෙන් යුතුව රජයේ ඉදිරි පියවර දෙස බලා සිටින අතර ඊට අදාළ ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සහ උද්දේශන අඛණ්ඩව සිදු කරමින් සිටී.
