ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය තවමත් අසම්පූර්ණව පවතින බවත්, ආර්ථික වර්ධන වේගය අර්බුදයට පෙර මට්ටමට වඩා පහළින් පවතින බවත් ලෝක බැංකුව පෙන්වා දී තිබෙනවා.
ලෝක බැංකුව මෙම අදහස් පළ කළේ, ඔවුන් විසින් නිකුත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංවර්ධන යාවත්කාලීන කිරීම් (Sri Lanka Development Update) පිළිබඳ නවතම වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
අද (07) නිකුත් කළ නවතම ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම් වාර්තාවට අනුව, 2025 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.6%ක වර්ධනයක් සිදුවනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබෙනවා.
කෙසේවෙතත්, මෙම වර්ධනය 2026 වසරේ දී 3.5%ක් දක්වා මන්දගාමී විය හැකි බවද ලෝක බැංකුව පෙන්වාදෙනවා.
යථා තත්ත්වයට පත්වීම ශක්තිමත් කර ගැනීම සඳහා අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ඉක්මන් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ වඩාත් කාර්යක්ෂම, වඩා හොඳින් ඉලක්ක ගත කළ රාජ්‍ය වියදම් කිරීම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වනු ඇති බව මෙම වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් ලෝක බැංකුව වැඩිදුරටත් අවධාරණය කළා.
