පසුගියදා පාර්ලිමේන්තුවේදී අනුමත වූ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතට ආරක්ෂාව සැපයීමේ කාරණය අයත් නොවන බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අලුතින් සම්මත වූ හිමිකම් පනත අනුව, විශ්‍රාමික ජනාධිපතිවරුන් මෙතෙක් භුක්ති විඳි සමහර හිමිකම් ආපසු භාරදීමක් මේ වන විට සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම පනත යටතේ ආරක්ෂාව සැපයීම අදාළ නොවන බැවින්, දැනටමත් ඔවුන් විසින් භාවිත කළ සමහර ආරක්ෂිත වාහන පවා ආපසු භාරදීමක් සිදුව ඇති බව අමාත්‍යවරයා පෙන්වාදුන්නා.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක් බව පෙන්වාදුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ, ඒ අනුව, ආරක්ෂාවට අදාළ ආරක්ෂිත වාහන ඇතුළු අනෙකුත් දේ විශ්‍රාමික ජනාධිපතිවරුන් විසින් නැවත ඉල්ලීමක් කළහොත්, ඒ පිළිබඳව ආණ්ඩුව සලකා බැලීමට සූදානම් බවයි.
හිමිකම් පනත යටතේ නොගැනෙන ආරක්ෂාව දිගින් දිගටම තහවුරු කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
ආනන්ද විජේපාල මහතා දැක්වූ අදහස් :
” පහුගිය දිනක මේ සභාවේදී අනුමත වුණා විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත. ඒ හිමිකම් පනත අනුව එතුමන්ලා භුක්ති විඳි සමහර හිමිකම් ආපසු මේ වෙනකොට භාරදීමක් කරලා තියෙනවා. නමුත් ගරු කතානායකතුමනි ඒ හිමිකම් පනත යටතට ආරක්ෂාව කියන කාරණය ගෙන එන්නේ නැහැ. ඒ හින්දා මේ වෙනකොට එතුමන්ලා තමන් භාවිතා කරපු සමහර ආරක්ෂිත වාහන පවා ආපසු භාරදීම් සිද්ධ කරලා තියෙනවා. හිමිකම් පනත අනුව සමහර හිමිකම් භාරදිය යුතු වුණත් ආරක්ෂාව සැපයීම ආණ්ඩුවේ වගකීමක්.. ඒ හින්දා ආරක්ෂාවට අදාළ ආරක්ෂිත වහන ඇතුළු අනෙකුත් දේ එතුමන්ලා නැවත ඉල්ලමක් කළොත් ඒ පිළිබඳව ආණ්ඩුව සලකා බලන්න සූදානම්. ඒ හින්දා හිමිකම් පනත යටතේ නොගැනෙන ආරක්ෂාව දිගින් දිගටම තහවුරු කරන්න අපි කටයුතු කරන බව අපි මේ සභාවට දැනුම් දෙනවා”
කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබුණා.
